පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා. පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා පසුගිය මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණු අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලැබුවා.
ඒ අනුව රජය විසින් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම සඳහා දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති තොරතුරු ලැබුණු වහාම වැටුප් කොමිසමේද නිර්දේශ සහිතව 31,000 කට අධික පොලිස් නිලධාරීන් හට උසස්වීම් ලබාදීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදුන් වහා ක්‍රියාත්මක කළ හැකි බව වාර්තා වෙනවා.