News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

රිද්දපු අය රිද්දන හැටි ප්‍රියංකාගෙන් ඉගෙන ගන්න

629 Views


රිද්දපු අය රිද්දන හැටි ප්‍රියංකාගෙන් ඉගෙන ගන්න

අප හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. නමුත් ඒවායින් සීමිත වපසරියක සැරිසරන්නයි බොහෝ දෙනෙක් පෙලඹෙන්නේ, කඳවුරුගත කොදෙව්වෙන් නොනැවතී එතැනින් ඔබ්බේ තියෙන ඉලක්ක සපුරාගන්න මහන්සිවී බොලිවුඩයේ කිසිදු දැවැන්තයකුට තවමත් කරගත නොහැකි වූ බටහිර ලෝකය ජයගැනීම සාර්ථකව ඉටුකළ ඇය ප්‍රියංකා චෝප්රා.

1982 වසරේ ජූලි 18 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර්හිදී අශෝක් සහ මධු චෝප්රා යුවළට දාව ප්‍රියංකා චෝප්රා උපත ලබනවා. ඇගේ මවුපියෝ ඉන්දීය යුද හමුදාවේ වෛද්‍යවරුන් ලෙසයි සේවය කළේ. ඒ නිසාම අෑටත් ඇගේ බාල සොහොයුරාටත් ළමා කාලය පුරා ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ජංගම ජීවිතයක් ගත කිරීමට සිදුවුණා. මේ හේතුව නිසා ඇගේ දිවියට මිතුරන් ඇතිකරගන්න අපහසු වුණත් විවිධ වූ සමාජ ඇසුර නිසා වෙනස් අත්දැකීම් ප්‍රමාණයක් ජීවිතයට එකතු වුණේ නිරායාසයෙන්මයි.

1995දී ප්‍රියංකා තමන්ගේ නැන්දා සිටින ඇමෙරිකාවේ මැසචුසේ ප්‍රාන්තයට යන්නේ විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබාදීමට ඇගේ මවුපියන්ට තිබුණු උනන්දුව මතයි. නමුත් ඒ ගමන සුන්දර එකක් වුණේ නෑ. ප්‍රියංකාගේ තලෙළු හම සහ සාපේක්‍ෂව රූසපුව අඩු පෙනුම සුද්දන් මැද්දේ වැඩියෙන් කැපී පෙනීමත් ඇය ඉන්දියානුවෙක් වීමත් නිසා පාසලේ ඇමෙරිකානු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් දිගින් දිගටම අෑට අඩන්තේට්ටම් සිදුවුණා. මේ විහිළු හිරිහැර උග්‍ර වීම නිසා අෑට තමන්ගේ විවේක කාලය ගත කරන්න දිවා ආහාරය ගන්න නිදහසක් ලැබෙන්නේ පාසලේ කාන්තා වැසිකිළිය තුළදීයි.

සියලු කරදර විඳ දරාගෙන ඇය තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගන්න ඇමෙරිකානු දැනුම උපයෝගී කරගන්නේ අනාගත ඉලක්කයක් හිතේ තියාගෙනයි. පොතපතේ වැඩට අමතරව වේදිකා නාට්‍ය, බටහිර සංගීතය සහ නර්නය තුළින් දක්ෂතා පෙන්වන ප්‍රියංකා වසර තුනකට පසු නැවත මවුරට බලා එන්නේ ඇගේ ඉලක්කය සපුරාගැනීමේ තවත් පියවරක් ඉදිරියට තියන්නයි.

ප්‍රියංකාට තිබුණු එකම ඉලක්කය වුණේ ගගනගාමී ඉන්ජිනේරුවරියක් වීම. ඒ සඳහා ප්‍රබල හේතුවක් වුණේ ඇගේ යුද හමුදා පසුබිම. බරේලිහි යුද හමුදා පාසලේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින කාලයේ ඇය ප්‍රදේශයේ රූපරාජිනි තරගයකට මවගේ පෙරැත්ත කිරීම මත ඉදිරිපත් වෙනවා. නොසිතූ ලෙස එදින කිරුළු පලඳින්න වරම් ලැබුණේ ප්‍රියංකාටයි. තමන්ගේ ගුණනැණ බෙලෙන් යුතු දියණියට මීටත් එහා යමක් කළ හැකියි යන්න වැටහුණු ප්‍රියංකාගෙ මව මධු කාටත් නොකියාම ප්‍රියංකාගේ ඡායාරූප කිහිපයක් සමඟ අයැදුම්පතක් යොමු කරනවා. Femina Miss India තරගයට.

ඔබ You Tube වෙත පිවිසුණොත් දැක ගන්න පුළුවන් Miss India තරගයේදී විනිසුරු මඩුල්ලේ ඉන්නා ශාරුක් ඛාන් එල්ල කරන පැනයට ප්‍රියංකා බුද්ධිමත්ව පිළිතුරු දෙන ආකාරය. ඒ අනුව Miss India තරගයේ දෙවැනි ස්ථානය වන Miss India World කිරුළ දිනාගන්න ප්‍රියංකා සමත් වෙනවා. ඒ ඔස්සේ ලෝක රූ රැජන තරගය නියෝජනය කරන ප්‍රියංකා තමන්ගේ රුවින් නුවණින් ලෝකයත් එක්ක තරග කරලා නව සහශ්‍රාෂේකය අබියස 2000 වසරේදී ලෝක රූ රැජන ලෙස කිරුළු පලඳිනවා. ඒ තමයි ප්‍රියංකාගේ ජීවිතය වෙනස්ම මාවතකට හරවපු වර්ණවත් රාත්‍රිය.

අපි එදිනෙදා ලස්සන පුද්ගලයකු දැක්කාම කියන පොදු දෙයක් තමයි. “රගපාන්න ගියා නං හොඳයි” කියන කරුණ. කිරුළු පැලඳූ රූ රැජනකට රංගන ආරාධනා ලැබෙන්නේ කිරුළු පැලඳූ මොහොතේමයි. ඒ අනුව වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපට රංගනයට මේ ගගනගාමී ඉංජිනේරු ශිෂ්‍යාව අවතීර්ණ වෙනවා. 2002දී කොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව විජේ සමඟ Thamizhan චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන ප්‍රියංකා එතැන් පටන් ටිකෙන් ටික රිදී තීරය ආක්‍රමණය කිරීම ආරම්භ කරනවා.

ප්‍රියංකා රංගනයට අවතීර්ණ වී මේ වන විට ගත වුණු වසර 16දී චිත්‍රපට 50කට දායකත්වය ලබා දී තිබෙන්නේ කෙටි කාලයක් තුළ වේගයෙන් ඉලක්ක හඹා යෑමට අෑට ඇති හැකියාව නිසායි. Aitraaz, Mujhse Shaadi Karogi, Don, Dostana, Krrish, Fashion චිත්‍රපට ප්‍රියංකාගේ රංගනය හැඩ කරන්න සමත් වුණා.

Barfi!, Mary Kom, Bajirao Mastani චිත්‍රපට ඒ හැඩවුණු රංගනයට වැඩ දාන්න පදනමක් හැදුවා. ඉන්දීය අර්ධද්වීපයට පමණක් සීමා නොවී තමන්ට කෙනෙහිලිකම් කළ ඇමෙරිකාවටම ඇය නැවතත් ගොඩබහිනවා. ඔවුන්ගේ රූපවාහිනි මාලා නාටකය ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු දකුණු ආසියානු චරිතය ලෙස Quantico හි රඟපාල Will.l.Am, Pitbull වැනි ඉහළ පෙළේ සංගීතඥයන් සමඟ එක් වී ගායිකාවක් ලෙසත් නිර්මාණ එළිදක්වා, හොලිවුඩ් චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වී ඇමෙරිකාවෙන්ම දීගයකුත් කරගෙනයි ඇය අති සාර්ථක ලෙස ජීවිතය ජය ගන්නේ.

අද ප්‍රියංකා චොප්රාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක්. 2006 සිට UNICEF සංවිධානයේ සුබ සාධක තානාපතිවරියක් ලෙස ළමා හා කාන්තා අයිතීන් පිළිබඳ ව්‍යාපෘති රැසකට ඇය දායකත්වය දෙමින් සිටිනවා.

ඉන්දියානු පුරවැසියෙක්ට ලැබෙන ඉහළම ඇගයීමක් වන පද්ම ශ්‍රී Filmfare ඇතුළුව ඇය මේ වන විට දිනූ සම්මාන ගණන 126ක්. Time සඟරාව මඟින් ලෝකයට සුබවාදී බලපෑමක් කළ හැකි ප්‍රබලම චරිත සියයෙන් එකක් ලෙසත් Forbes සඟරාව මඟින් ලෝකයේ බලවත්ම කාන්තාවන් සියයෙන් කෙනෙක් ලෙසත් ප්‍රියංකාවසලකණු ලබනවා. සීමා රහිත වුණු තරමට, වැටකඩුලු බිඳ දමන්න තරම් හිත ශක්තිමත් වුණු තරමට වෙනස් බලවේගයක් ඇති කරන්නත් ලෝකය ජය ගන්නත් ලේසියි.


News Articles
Latest Videos
Most Popular Post