News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

විදේශයන්හිදි සිට මෙරටට මළ සිරුරු රැගෙන ඒමේදි ගැටලු

496 Views


විදේශයන්හිදි සිට මෙරටට මළ සිරුරු රැගෙන ඒමේදි ගැටලු

විදේශයන් හීදී මිය ගොස් ශ්‍රී ලංකාවට රැගෙන එන මළ සිරුරු කටුනායක ගුවන් තොටුපළේ දී දවසේ පැය 24 පුරා , ඒවා භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද , මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව ගුවන් තොටුපළ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්  පවසති .

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ආරම්භයේ සිටම මෙසේ ශ්‍රී ලංකාවට එවන මළ සිරුරු දවසේ පැය 24 පුරා ඒවා රැගෙන යෑමට පැමිණෙන ඥාතීන් වෙත නිදහස් කළ බවත් , එම රාජකාරී කටයුතු ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉටු කර තිබේ.

එහෙත් මීට මාසයකට පමණ පෙර  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ චක්‍ර ලේඛනයක් අනුව එම රාජකාරී කටයුතු ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරුන් වෙත පවරා , එම කටයුතු දවසේ පැය 12 කට සීමා කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම වෛද්‍යවරු ද පවසති .

කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම මළ සිරුරු නිදහස් කිරීම දවසේ උදෑසන 8.00 සිට රාත්‍රී  8.00 දක්වා කාලය තුළ පමණක් සිදු කරන බවත් , රාත්‍රී  8.00 ට මළ සිරුරක් නිදහස් කළද ,එම ඥාතීන් ගුවන් තොටුපළ පොලීසිය වෙත ගොස් එම නිලධාරීන් ද රැගෙන මීගමුව මහ රෝහල වෙත ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සිදු වුවහොත්   එවිට වේලාව මධ්‍යම රාත්‍රීය ද ඉක්මවා ගොස් තිබිය හැකි බවයි . බොහෝ විට අධිකරණ වෛද්‍ය නිලධාරීන් රෝහල් භූමිය තුළ රැදී නොසිටියහොත් එම ඥාතීන්ට පසුදා පහන් වනතුරු රෝහල් භූමියෙහි රැදී සිටීමටත් සිදු වන බවද සදහන් කළේය .

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ ශ්‍රී ලංකාවට මෙසේ රැගෙන එන මළ සිරුරු වලින් 5% ක පමණ ප්‍රමාණයක් පමණක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු වන බවත් , ඉතිරි සියල්ල වැඩිදුර විමසීමකින් තොරව එම ඥාතීන් විසින් ගුවන් තොටුපළෙන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන යන බවත්ය .

එමෙන්ම මෙසේ ශ්‍රී ලංකාවට එවන මළ සිරුරු පිළිබඳව ඒවා යොමු කරන රටෙන් ද බොහෝ විට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා , එම නිර්දේශ ද මෙම මළ සිරුරු සමග අප රටට එවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරති .

එමෙන්ම වත්මන් තීරණය විශේෂයෙන්ම මුස්ලිම් ලබ්ධිකයන්ට ගැටළු මතු කරවන බවත් , ඔවුන්ගේ මරණ වල අවසන් කටයුතු එය සිදු  වී පැය 24 ක් ඉක්මවා යන්නට පෙර සිදු කළ යුතු වීම එයට හේතුව වී ඇති බවත් ය.

කෙසේ වෙතත් මෙම මළ සිරුරු නිදහස් කිරීම ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු කර ඇති  වෛද්‍යවරුන් වෙත වගකීම පැවරීම පිළිබඳව තමන්ට ගැටළුවක් නොමැති බවත් , මෙම මළ සිරුරු නිදහස් කිරීම පැය 24 සිට පැය 12 දක්වා අඩුවීම ජනතාව පීඩනයට පත් වන කරුණක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති .

මෙම මළ සිරුරු නිදහස් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගම්මානයේ විශේෂ කාර්යාල පරිශ්‍රයක් ද ඒ සදහා වෙන්   කර දී ඇත්තේ ද මෙම කටයුතු පහසුවෙන් ජනතාව වෙත ඉටු කිරීම සඳහා බවත් , එහෙත් මෙම  නව තීරණය නිසා මෙම මළ සිරුරු  රැගෙන යෑමට පැමිණෙන ඥාතීන් මෙන්ම ඒවා ප්‍රවාහනය කරන පෞද්ගලික මල් ශාලාකරුවන් ද දැඩි අපහසුතාවයකට ලක් වී ඇති බවද පැවසේ .


News Articles
Latest Videos
Most Popular Post