News Line| Off Air| Games
Generic placeholder image

Nov
27

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අගමැති හමුවෙයි (ඡායාරූප)

337 Views


ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අගමැති හමුවෙයි (ඡායාරූප)

අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.

ඒ, විජේරාම නිල නිවසේදීයි.

එහිදී ප්‍රථමයෙන් අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් එක් කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට කලාපයේ සෙසු රටවල්වලට ද මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ දෝවාල් මහතා පෙන්වා දුන්නේ, එම තත්ත්වය යටතේ වුව ද කලාපයේ රටවල ආර්ථික, සමාජයීය සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති බවයි.

එමෙන්ම වසංගත තත්ත්වය හමුවේ රටවල් අතර සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට වැඩි වශයෙන් සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා බව ද ඔහු මෙහිදී පැවසුවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු එම කලාපයේ රටවලට විදෙස් ශ්‍රමිකයින්ගෙන් විශාල ආර්ථික ශක්තියක් හිමි වුව ද වර්තමාන තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමි වීමත් සිය රටවලට ශ්‍රමිකයින් පැමිණීමත් හේතුවෙන් සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බව අජිත් දෝවාල් මහතා වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් ඔහු, එම කලාපයේ සෙසු රටවල් ද සමගින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයාගත යුතු බව කියා සිටියා.

ඒ සඳහා කලාපයේ සෙසු රටවල් අතර සංවාදයක් ගොඩනැගීමට මෙන්ම ආර්ථික අවපාතයට විසඳුම් සොයමින් ඒ පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට මූලිකත්වය ගන්නා ලෙසයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා යෝජනා කළේ.

ඒ සඳහා ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මකකර ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එවැනි නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ද සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ සඳහා ද ඉන්දියානු රජයේ සහයෝගය හිමි වන බවයි දෝවාල් මහතා කියා සිටියේ.

ඉන්දියාවේ ආරම්භකර ඇති පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු කරමින් සහ එම තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජල යෝජනා ආරම්භ කිරීමටත් මෙම හමුවේදී එකඟතාව පළ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙසයි දෝවාල් මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත උපදෙස් දී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post