News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

දුම්රියේ ආසන වෙන් කර ගන්න කලින් මේ ගැනත් දැන ගන්න.

3430 Views


දුම්රියේ ආසන වෙන් කර ගන්න කලින් මේ ගැනත් දැන ගන්න.

දුර ගමනක් යන්න ඕන වුනාම ගොඩක් අය බලන්නේ දුම්රියේ යන්න. මොකද බස් එකේ යනවට වඩා සුවපහසුවට ගමන යන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි කලින් ආසනයක් වෙන් කර ගන්නත් දුම්රියේ පහසුකම් තියෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා…..

වෙන්කල හැකි ආසන නම්,
01. වායුසමනය කල පළමු පන්තිය (AFC)
02. නැරඹුම් මැදිරිය (OFV)
03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)
04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)
05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)
06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)
07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)

ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ.
මැදිරියම වායුසමනය කර ඇත.
මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ( from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද මරදාන -මාතර සීඝ්‍රගාමි දුම්රියේද (from colombo fort @6.55am) AFC මැදිරියක් පවතින අතර එහි සුවි⁣ශේෂිතාවය වන්නේ ආසන එකිනෙක ආවරණය කර පැවතීමයි..

02, නැරඹුම් මැදිරිය (OFV)

පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 6ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)

ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ. මෙම මැදිරියක් දක්නට ලැබෙන්නේ යාල්දේවී දුම්රියේ පමණි.

04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)

සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල , ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.
ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)

සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.
– වව්නියාව ICE
– මහනුවර ICE (උදෑසන )
– මහනුවර ICE ( සවස)
– මහනුවර සතිඅන්ත ICE
– උත්තර දේවි ICE
– යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
– උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
– උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
– පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
(ICE = Intercity Express )

06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)

සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත.

07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)

මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය.
ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ…
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය.

සටහන හා ඡායාරූප –
R.M. තරිඳු නිශාදව මධුවන්ත


News Articles
Latest Videos
Most Popular Post