News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

කාලෙකට පස්සේ ලංකාවට ආව නටාෂා දැන් කියන කතාව.

1072 Views


කාලෙකට පස්සේ ලංකාවට ආව නටාෂා දැන් කියන කතාව.

නටාෂා රත්නායක කියන්නේ ගායනයෙන් වගේම රංගනයෙන් රසික හදවත් දිනා ගත්ත තාරකාවක්. කාලයක් විදේශ ගතවෙලා හිටිය නටෂා දැන් ඉන්නේ ලංකාවේ. අලුත් නිර්මාණ ගැන වගේම පවුල් ජීවිතය ගැන නටෂා කියපු කතාව තමයි මේ.

කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්?
ඔව්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ගායනය, රංගනය, නිවේදනය වගේ විවිධ දේවල් කරමින් හිටියා. ගොඩක් කාලයකට පස්සේ මගේම තනි නිර්මාණයකින් මම රසිකයන් අතරට ආවේ. ඒ ‘ආරාධනා’ ගීතයෙන්. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ගීතයේ නිර්මාණ පසුබිම ගැනත් කතා කරමු?
මේ ගීතයේ පද රචනය කළේ අචල සොලමන්ස්. මෙහි සංගීතය ඒ-ඛ සෙරිෆ්ගේ. ඒ දෙන්නා තමයි මේ ගීතය හැදෙන්න හේතු වුණේ. ගීතයේ වීඩියෝව වාසුල කළේ. ගීතයේ වීඩියෝවටත් මේ වෙනකොට ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. තව බොහෝ දෙනෙක්ගේ උදවු මෙයට ලැබුණා.

මේ නිර්මාණයත් එක්ක නිර්මාණ පැත්තෙන් නිහඬතාව බිඳියිද?
ඔව්. ගොඩක් අය මගෙන් ඇහුවා මොනවද අලුත් වැඩක් කරන්නේ නැද්ද කියලා. හැමදාම ගීතයක් එළි දක්වනවා කියලා මම බොරු කිය කියා හිටියා. දැන් මේ ඒ කියපු දේවල් ඉෂ්ට කරන්න කාලය. ඒ වගේම නිර්මාණ කරන එක ආත්ම තෘප්තියක්.

නතාෂා අලුත් දෙයක් කරනකල් බොහෝ දෙනෙක් බලාගෙන හිටියානේ. අලුත් දෙයක් කරන්න කල් ගත්තේ වෘත්තීයමය කටයුතු නිසාද? නැත්නම් විදේශගත වෙලා හිටපු නිසාද?
ඔය හේතු කිහිපයම ඒකට බලපෑවා. මම ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කළා. කාලයක් මම ක්ෂේත්‍රයේ වැඩවලින් විවේකයක් ගත්තා. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඊට පස්සේ මම නීතිඥවරියක් වුණා. විදෙස්ගත වුණා. කාලයක් ගත වෙලා හරි මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වුණා.

කාලයකට පස්සේ කරපු වැඩේට ප්‍රතිචාර ජයද?
ගොඩක් කාලයකට පස්සේ වුණත් මිනිස්සුන්ට මාව අමතක වෙලා නෑ කියන එක සින්දුවට ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා. ගීතය රිලීස් කරලා සති කිහිපයයි. ලක්ෂ හයහමාරකට වඩා බලලා තියෙනවා. ඉතිං මේ ලැබෙන ප්‍රතිචාර ඇති.

දැන් ගීත කලාවේ විවිධ රැලි හැදිලා තියෙනවා. ඒ රැලි අතරේ මේ ගීතය මොනවගේ තැනකට ගෙනියන්න පුළුවන් වෙයිද?
මාව ප්‍රෙක්ෂකයන්ට මතක නිසා තමයි මගේ ගීතයට ප්‍රතිචාර දක්වන්නේ. විවිධ කාලවල විවිධ රැලි ආවා. මේ ගීතය ඒ රැලිවලට අහුවුණ ගීතයක් නෙමෙයි. අලුත් දෙයක් දැම්මම මිනිස්සු ඒක වැලඳ ගන්නේ නැත්තේ නැහැ. මිනිසුන්ට දැනෙන දෙයක් නම් අලුත් යමක් නම් ඔවුන් ඒක වැලඳ ගන්නවා.

ප්‍රිහාන් සහ ඔබ එකම කාලයේ ගීත දෙකක් රිලීස් කළේ. සැමියා සහ බිරිය තරගයක්ද මේ දෙන්නේ?
මට නම් කොහොමත් තරගයක් නෑ. මම හිතන්නේ ප්‍රිහාන්ටත් එහෙම තරගයක් නෑ. ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා. මම ඒකට එකඟ වුණා. සැමියා, බිරිය මෙහෙම එකම කාලයේ ගීත රිලීස් කරලා නැතුව ඇති. ඒකත් ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක්. අපිට ඕන වුණේ හොඳ නිර්මාණ රසවිඳින කිහිපදෙනාට හරි නිර්මාණයක් කරන්න. දැන්වත් ඇවිත් නිර්මාණයක් කළ එක හොඳයි කියන එක ගොඩක් අය කියනවා.

ක්ෂේත්‍රයෙන් නිවාඩු අරගෙන හිටපු නිසා නතාශාව මාධ්‍යවලට අමතක වෙලා නැද්ද?
මාධ්‍යවලටත් මාව අමතක වෙලා කියලා මම හිතුවා. නමුත් එහෙම වෙලා නැහැ. මම ගොඩක් වාසනාවන්තයි. මම සෝෂල් මීඩියාවලින් ජනප්‍රිය වුණ කෙනෙක් නෙමෙයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ, අවුරුදු පහළොවකට කලින්. අවුරුදු පහළොවකට කලින් කරපු නිර්මාණය ගැන තාමත් කතා කරනවා. මාධ්‍යවල ඉන්න පිරිසගෙන් මට ලැබුණු සහාය ඉතාම වටිනවා. තවමත් මට ඒ සහාය දෙනවා.

කොච්චර නිහඬ වෙලා හිටියත් නතාෂාව ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්නේ ඔබ සමාජ මාධ්‍යවලින් තොරව ජනප්‍රිය වුණ චරිතයක් නිසාද?
මම එහෙම හිතනවා. සමාජ මාධ්‍යවලින් ජනප්‍රිය වෙන එක හොඳද, නරකද කියලා මගේ අදහසක් නැහැ. මම ක්ෂේත්‍රයට ආවේ වෙන විදියකින්. අද මම සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ හරහා මගේ ප්‍රේක්ෂකයන් එක්ක ඉස්සරට වඩා මම එකතු වෙලා කතා බහ කරනවා. නමුත් මගෙන් අදටත් කොහේ ගියත් සුළඟක් වී ගීතය ගැන අහනවා. මීට අවුරුදු දහතුනකට කලින් කරපු දඟමල්ල ගැනත් අහනවා. මේ ළඟදි මම දඟමල්ල ටෙලි නාට්‍යයේ ඡායාරූපයක් දැම්මම ඒකට උන්මාදයක් වගේ පුදුම ප්‍රතිචාරයක් ලැබුණා. මට ලැබුණ ආදරය තාම ලැබෙන එක පුදුම දෙයක්.

‘දඟමල්ල’ එක්ක ඔබ ජනප්‍රිය වුණා. ඊට පස්සේ රංගනයෙන් නිහඬ වුණේ ඇයි?
මම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කළේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක. මම දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ කියන වේදිකා නාට්‍ය වෙනුවෙන් 2003 වර්ෂයේ ළමා නාට්‍ය උළෙලේදි හොඳම නිළිය සම්මානය ගත්තා. ඒ වසරෙදිම මම පන්තියේ පළමුවැනියා වුණා. ඒ වගේම සුළඟක් වී මං යනවා ගීතයත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යනවා. මම කලා කටයුතු ඔක්කොටම වඩා අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. මගේ අම්මි තමයි ඒකට හේතුව. අම්මි මගේ පස්සෙන්ම හිටියේ නැත්නම් කවදාවත් මට මේ තරම් දුර යන්න බෑ. පසුකාලීනව මම නීති ක්ෂේත්‍රය පැත්තට යොමු වෙනවා. නීතිඥවරියක් කියන භූමිකාව මගේ වෘත්තිය. කලාවෙන් නිහඬ වෙන්න වුණේ ඒ දේවල් එක්ක.

සමහරු ජනප්‍රියත්වය පස්සේ හඹායද්දී නතාෂා ජනප්‍රිය දේ පැත්තක තිබ්බේ?
කවදාවත් මට ජනප්‍රියත්වය පස්සේ හඹා යන්න ඕන වුණේ නෑ. තාමත් මම එහෙමයි. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන වචනයවත් දන්නේ නැති කාලෙක තමයි මම ජනප්‍රිය වෙන්නේ. ජනප්‍රියත්වය මට දෙවියෝ දුන්න දෙයක්. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න කැපවීම දක්ෂතාව තියෙන්නත් ඕන. ඒ ජනප්‍රියත්වය පස්සේ හඹා නොගියත් ජනප්‍රියත්වය තාමත් මට ලැබෙන්නේ වාසනාවකට වෙන්න ඕන.

ආයෙත් රංගනයෙන් දකින්න ලැබෙන එකක් නැද්ද?
මම ලංකාවට ආවා කියලා තාම වැඩි දෙනෙක් දන්නෙත් නැහැ. ලංකාවට ආවට පස්සේ නිර්මාණයකට කතා කළා. ඒ නිර්මාණයේ ස්ක්‍රිප්ට් එක සකස් කරමින් යන නිසා මට ඒ ගැන දැනුම් දෙන්නම් කිව්වා. හොඳ නිර්මාණයක් වුණොත් ඉදිරියෙදි සම්බන්ධ වෙනවා.

පහුගිය කාලේ නතාෂා විදේශගතවනේ හිටියේ. වැඩි කාලයක් ලංකාවේ රැඳෙන්නේ නෑ නේද?
ඕස්ට්‍රේලියාවට යන්න ඕන කියලා අපි තීරණයක් ගත්තා. පශ්චාත් උපාධිය සඳහා තමයි මම ඕස්ට්‍රේලියාවට මුලින්ම ගියේ. දැන් මම නීතිය වෘත්තියක් කරගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ දිගටම ඉන්නව කියන අදහසක් නෑ. නැවත ලංකාවට එනවා කියන තීරණයේ ඉන්නේ.

නතාෂාගෙයි ප්‍රිහාන්ගෙයි කැදැල්ලට පුංචි අමුත්තෙක් ගේන්න දැන්ම අදහසක් නැද්ද?
දැන්ම එහෙම අදහසක් නෑ. අපේ නිර්මාණ තමයි අපේ දරුවෝ වෙලා තියෙන්නේ. නිර්මාණකරණයට තමයි අපේ කාලය සහ අවධානය වැඩිපුර යොමු කරලා තියෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ


News Articles
Latest Videos
Most Popular Post