මේ තොරතුරු ඔබ කියවන විට ප්‍රියානි ජයසිංහ අප අතර නැහැ .එත් ඇය ගැයූ ගී ඒ ආදරණීය හඬින් අහන්නට අපි තවමත් වාසනාවන්තයි. ප්‍රියානි ජයසිංහ ගායනා කළ ගී රැසක් තියෙනවා. හැබැයි ප්‍රියානි ඇයගේ ලොකු පුතා ලෝෂිත හසරැල් එක්ක ගැයූ අපුරු ගීයක් තියෙනවා. මේ ගීතය තවම මාධ්‍ය ඔස්සේ අහන්නට නොලැබුණු ගීතයක්. ගීතයේ නම වෙන්නේ “දුරින් වුවත් ඔබ…”
මේ ගීතයේ පද පෙලේ හිමිකරුවා වෙන්නේ පද්මසිරි ගුණවර්ධන. ඔහු ගුවන්විදුලි හා රුපවාහිනි නිවේදකයෙක් . මේ ගීතයේ පසුබිම ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවක්…
“ප්‍රියානි නංගි මට කීප සැරයක්ම කිව්වා පුතත් එක්ක කියන්න සින්දුවක් ලියල දෙන්න කියල . එයා දැනගෙන හිටිය මම ජගත් වික්‍රමසිංහට ගීයක් ලියල දුන්න කියල . ප්රියානිගේ ඉල්ලීමට අනුව මම ලියල දුන්නු ගීය තමයි “දුරින් වුවත්…” මේ ගීයට ප්‍රියානි හුඟක් කැමති වුණා. ලෝෂිත ගායනා කළ මුල්ම ගීය තමයි මේ. ප්‍රමුදිත ප්‍රනාන්දු අපුරු සංගීතයකට මේ පද මුසුකළා. ප්‍රියානි යි ලෝෂිත යි බොහොම මිහිරට ගයා තිබෙන බවයි මම විශ්වාස කරන්නේ . මේ ගීයෙන් කියනව වගේ දිලි දිලි නිවෙනා තරුපොකුරු අතර ඇය සැඟව ගිහින්. එහෙත් ඇගේ මියුරු හඬ ඇහෙන වාරයක් පාසා ගී අම්බරයේ දිලි දිලි ඒ රුව පෙනෙනු නොඅනුමානයි”
ගැ – දුරින් වුවත් ඔබ ළඟයි තවම මට
නිවි නිවි දිලෙනා තරු පොකුරු අතරේ
පි – ළඟින් වුවත් ඔබ දුරයි තවම මට
දිලි දිලි නිවෙන/ තරු පොකුරු අතරේ