News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පතක් නෑ

1505 Views


ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පතක් නෑ

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා.

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (3) කොළඹ පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවකදී මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මෙය
හෙළි වී ඇති අතර මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැඟවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවි තිබෙනවා.

මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි බවද ආරියංවශ මහත්මිය පෙන්වා දුන්නා.

ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතු මීට පාදක වී ඇති බව ඇයගේ අදහසයි. මෙම ජාතික හැඳුනුම්පත් නොමැති පිරිස අතරින් 87% ක් පමණ වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිව තිබෙනවා.

ජාතික හැඳුනුම්පතක් සඳහා වන අවශ්‍ය ලියකියවිලි නොමැති අය සඳහා අවම ලියකියවිලි යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර ඇති බව සදහන්.

ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා වන ජංගම සේවා සඳහා පැමිණෙන බහුතරය තිබෙන හැඳුනුම්පත අලුත් කර ගැනීම, මැකී ගිය හෝ පළුදු වූ හැඳුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් ලබාගැනීම ආදී කටයුතු සඳහා පැමිණෙන බව කී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ හැඳුනුම්පත් නොමැති පිරිස් එම ජංගම සේවා සඳහා පැමිණ ඇත්තේ මද වශයෙන් බවයි.

මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවද හෙළිවී තිබෙනවා.

මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරිමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද මෙම තත්ත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ආරම්භ කිරීමට යෝජිත බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post