ලෝකයේ වියළිතම කලාපය ලෙස ප්‍රසිද්ධ චිලී රාජ්‍යයේ උතුරුකරයේ පිහිටි ඇටකාමා කාන්තාරය, කිලෝමීටර් 1600ක් දිගින් යුක්ත වන අතර, එය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයක් විශාලය (වර්ග කිලෝමීටර් 128,000). මෙම කාන්තාරයේ සමහර ප්‍රදේශවලට වසර සිය ගණනකින් වැසි ලැබී නැත. එය එතරම්ම වියළි භූමියකි. කෙසේ වෙතත්, වසර 10කට වරක් පමණ ඉතා සුළු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ ද ඇටකාමා කාන්තාරයේ තිබේ.
මෙසේ ලැබෙන සුළු වැස්සෙන් පසුව කාන්තාරයේ මල් පිපී ජීවය ලබන අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ. 2024 වසරේදී අඟල් 0.4ක පමණ වැස්සක් ලැබීමෙන් දින දෙක තුනක් ඇතුළත විවිධ මල් වර්ග 20කට වඩා පිපී තිබෙනු එහි දැකගත හැකි විය. විද්‍යාඥයන් පවසන පරිදි, මෙම මල් වර්ගවල බීජ සුළඟින් පැතිරී කාන්තාරයේ තැන්පත් වී වැස්සක් බලාපොරොත්තුවෙන් වසර 10ක් වැනි කාලයක් පවතී. ඉතා සුළු තෙතමනයක් ලැබුණු වහාම මෙම බීජ පැළ වී, දින දෙක තුනක් ඇතුළත මල් හට ගනී. එම කෙටි කාලය තුළ කිලෝමීටර් සිය ගණනක් දුරට පැතිරී ඇති දම්, කහ, සුදු වැනි විවිධ වර්ණවලින් යුත් මල් පලසක් දැකගත හැකිය.
වර්තමාන ගෝලීය දේශගුණික විපර්යාස (එල්-නීනෝ තත්වයන්) හේතුවෙන් දැන් සෑම වසරකම හෝ දෙකකදීම මෙවැනි මල් පිපීමක් දැකගත හැකිය. මේ නිසා චිලී බලධාරීන් මෙම මල් පිපෙන ප්‍රදේශ හඳුනාගෙන, ඒවා ජාතික උද්‍යාන ලෙස නම් කර සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කරති.
වැස්සත් සමඟ ජීවය ලබන මෙම ශාක, දින 10ක් වැනි කෙටි කාලයක් තුළ තම ජීවන චක්‍රය සම්පූර්ණ කර මිය යයි. මෙම ඡායාරූප දෙස බලන විට සිතුණු කරුණක් නම්, ගසක් තමන්ගේ වර්ධනය ගැන නොසිතා, ආකර්ශනීය මලක් නිර්මාණය කිරීමට කොතරම් උත්සාහයක් දරනවාද යන්නයි. සමහර මල් ගසේ ප්‍රමාණයටත් වඩා විශාලය. මෙය හරියට දෙමාපියන් නොකා නොබී, තම සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරනවා හා සමානය. එක් අතකින් ජීවිතය යනු, ඊළඟ පරම්පරාව බිහි කිරීම විය හැකිය.
අවසාන ඡායාරූපවලින් දැක්වෙන්නේ මල් නොපිපෙන කාලයට කාන්තාරය දිස්වන ආකාරයයි.