News Line| Off Air| Games
Generic placeholder image

Mar
1

ලංකාවෙදි ගරාජයකින් ජීවිතය අරඹා ලොව හොඳම ගුරුවරියන් 10 අතරට ගිය යසෝදායි

871 Views


ලංකාවෙදි ගරාජයකින් ජීවිතය අරඹා ලොව හොඳම ගුරුවරියන් 10 අතරට ගිය යසෝදායි

ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන ලෝකයේ හොඳ ම ගුරුවරයා තෝරා ගැනීමේ, ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් වැඩසටහනේ අවසන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් තනනත්තියක තේරී පත්ව සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පවත්වනු ලබන මෙම සම්මාන තරගාවලියේ අවසන් තේරීම් උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ලෝකයේ හොඳ ම ගුරුවරයා ලෙස තේරී පත් වන ගුරුවරයාට හෝ ගුරුවරියට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහාය.
ලොව සිටින ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන් අතරින් ‘ලෝකයේ හොඳ ම ගුරුවරයා සම්මානය’ අබියසට පැමිණ සිටින ඒ සුවිශේෂී ගුරුවරිය වන යසෝදායි සෙල්වකුමරන් සමග සාකච්ඡා කිරීමට බීබීසී සිංහල සේවයට අවස්ථාව හිමි විය.

යසෝදායි සෙල්වකුමරන් ගුරුවරියක ලෙස සේවය කරනුයේ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල්

ඔබ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගියේ කවදා ද? ඊට බලපෑ හේතුව කුමක් ද?

1987දී මම ඉපදුණේ. ඒ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණ දේශපාලනික තත්ත්වය නිසා මගේ දෙමාපියන් වෙනත් රටක පදිංචියට යන්න ඉල්ලුම් කරලා තිබුණා. ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල් දෙකෙන් ම අවස්ථාව ලැබිලා තිබුණා. ඊට පස්සේ 1988 වසරේදී අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් තිබෙනවා. ඒ වෙනකොට මගේ වයස මාස 10යි.

 

ඔබේ දෙමාපියන් ගැන කිව්වොත්? ඔවුන් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියේ කොහේ ද?

මගේ තාත්තා ඉන්ජිනේරුවරයෙක්. මගේ අම්මාට විශ්වවිද්‍යාල වරම් නොලැබුණත් එයා ගිණුම්කරණය ඉගෙනගෙන තිබෙනවා. අපි ඔස්ට්‍රේලියාවට එන්න කලින් ජීවත් වුණේ, කොළඹ පරණ ගරාජයක් විදිහට තිබුණ ගොඩනැගිල්ලක් ගෙයක් විදිහට සකස් කරගෙනයි. මගේ අම්මයි තාත්තායි දෙන්නා ම යාපනයේ ඉපදුණු අය.

අපි මුලින් ම සිඩ්නිවලට පැමිණියත් තාත්තාට ඔස්ට්‍රේලියානු රජයේ ඉන්ජිනේරුවරයෙක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණ නිසා අපි නගරයෙන් එහා තිබුණ ‘හේ’ කියලා ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වුණා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මගේ අම්මා ඉංග්‍රීසි ඉගෙනගෙන වැඩිහිටි සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක සේවය කළා. මගේ දෙමාපියන් නිතර කතා වුණා, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට මම වාසනාවන්ත වුණා කියලා. ඒ හරහා තමයි අපට ගොඩාක් අවස්ථා හිමි වුණේ.

ඔබ ලෝකයේ හොඳ ම ගුරුවරුන් 10 දෙනා අතරට සුදුසුකම් ලැබුවේ කොහොම ද?

ඒ සඳහා අපව විනිශ්චය කළේ, විශේෂ තේරීම් ක්‍රමවේදයකට අනුකූලවයි. මම ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඉන්නකොට ගොඩාක් අවස්ථා හිමි වුණා පාසලෙන් පිටතටත් ගිහින් මගේ අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න. 2010 වසරේ අග භාගයේ ඉඳලා මම බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල් එකේ සේවය කරනවා. මම ඒ පාසලට මුලින් ම ගියේ 2009 වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලබන්නයි. මගේ දෙමාපියන්, මිතුරන් සහ මට ඉගැන්වූ ගුරුවරුන් නැත්නම් මට කවදාවත් ගුරුවරියක විදිහට මේ තරම් දුරක් එන්න බැහැ. මට උගන්වපු සියලු ගුරුවරුන් බලපෑවා මගේ ගුරු වෘත්තියට. අධ්‍යාපනයට සහ ගුරුවරුන්ට ගරු කිරීමත් එහි ඇති වටිනාකම පෙන්වා දීමත් ගැන මම මගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාවේ උපන්නියක / කාන්තාවක ලෙස ඔබට ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට/කාන්තාවන්ට දෙන්න තියෙන පණිවුඩය කුමක් ද?

ගුරු වෘත්තිය කියන්නේ, ඉතා ම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේ ම එය බලවත් වෘත්තියක්. ඇතැම් වෙලාවට අපේ රැකවරණය යටතේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි කැප වුණා ම අපේ අවශ්‍යතා පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ගුරුවරු වෘත්තිය හරියට කරන ගමන් තමන් ගැනත් හිතන්න ඕන.

යහපත් ශිෂ්‍යයෙකු බිහි කිරීමට අනුගමනය කළ යුතු සාර්ථක ම ක්‍රමය කුමක් ද?

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන පෞද්ගලික මට්ටමින් පන්ති කාමරය තුළ වගේ ම ඉන් පිටතදීත් සොයා බලන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් ඔවුන් කවුද කියලා හඳුනගෙන ඔවුන්ගේ අවශ්‍යතා වටහාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. සාර්ථක ශිෂ්‍යයෙකු නම් ඔහු හෝ ඇය සතුටින් ඉගෙන ගන්න ඕන.

නිව් සවුත් වේල්ස්හි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන සැලසුම වන්නේ, “සෑම ශිෂ්‍යයෙකු ම හඳුනාගැනීම, වටිනාකමක් ලබා දීම සහ ඔවුන්ට රැකවරණය සැලසීම” කියන දෙයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග එක්ව ක්‍රියා කිරීම ප්‍රධාන ම කාරණයයි. මම විශ්වාස කරන්නේ, සිසුන්ගේ අපේක්ෂා අනුව ඔවුන්ට ළඟා කර ගන්න පුළුවන් ඉලක්ක ලබා දීමත්, ඉගෙන ගැනීම විනෝදයක් බව ඔවුන්ට තහවුරු කිරීමත් අතිශය වැදගත් කියලායි.

යහපත් ශිෂ්‍යයෙකු බිහි කිරීමට ශාරීරික දඬුවම් අවශ්‍ය බව ඔබ හිතනවා ද?

කොහෙත් ම නෑ. ඒ ක්‍රමය මම ඔස්ට්‍රේලියාව තුළ කවදාවත් දැක නැහැ. මගේ අත්දැකීම් අනුව, විනය කියන දේ ඇති වෙන්නේ, ශිෂ්‍යයින් ඉලක්ක වෙත නැඹුරු කිරීම සහ එක් එක් ශිෂ්‍යයාට පෞද්ගලික අවධානයක් යොමු කරමින් ඔවුන් සමග වැඩ කිරීම හරහායි. ඇතැම් ශිෂ්‍යයින් නුසුදුසු ආකාරයට හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නේ ඇයි කියන එක වටහා ගන්න ඕන. ඔවුන්ට ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජයගෙන ඉදිරියට යන්න උදව් කරන්න ඕන.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබ හිතන්නේ කුමක් ද?

ඔස්ට්‍රේලියාවේ නවෝත්පාදනය ඉලක්ක කර ගත් විශිෂ්ට පාසල් පද්ධතියක් තියෙනවා. ඒත් සෑම ශිෂ්‍යයෙකු ම එක වගේ සාර්ථක වෙන විදිහට සියලු බාධක ඉවත් කරන්න ක්‍රියා කළ යුතුයි. මෙහෙ ගුරු වෘත්තියට ලැබෙන ගෞරවය සහ තත්ත්වය ඉහළයි. අලුතෙන් සේවයට එක් වන ගුරුවරුන් සිය දක්ෂතා සහ දැනුම වර්ධනය කර ගන්න වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. තවදුරටත් පර්යේෂණ කරමින් ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් ඔස්ට්‍රේලියානු සිසුන්ට හොඳ ම අවස්ථා ළඟා කර දිය හැකියි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබේ අදහස කුමක් ද?

මම ඉතා කුඩා කාලයේදී ම ශ්‍රී ලංකාවෙන් පැමිණි නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝධයක් නැහැ. ඒත්, ලෝකයේ හොඳ ම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් මම ලැබූ අවස්ථාව සහ පිළිගැනීම නිසා මට අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් කරන්න හැකි වේවි. මම ඒ සඳහා අවධානය යොමු කරනවා.

ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඔබට කීමට ඇත්තේ කුමක් ද?

මම ලෝකයේ හොඳ ම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වගේ ම ශ්‍රී ලංකාවෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ ප්‍රතිචාර නිහතමානීව සතුටින් භාර ගන්නවා. ඔබ දුන් සහයෝගයට සහ සුබ පැතුම්වලට ගොඩක් ස්තුතියි. මම ඉපදුණ රටේ පුරවැසියන් වගේ ම ශ්‍රී ලාංකික උරුමයක් සහිත ශ්‍රී ලාංකිකයින් මට දක්වන සහයෝගය ගැන මම ගෞරවයෙන් සලකනවා. මගේ ශ්‍රී ලාංකික උරුමය මට ඉතාමත් වැදගත්. ඒ වගේ ම මට සහයෝගය දක්වන ශ්‍රී ලාංකිකයින් ගැන මම ආඩම්බර වෙනවා. ඒක හරි ම සංවේදීයි. මට ඒක ලොකු සතුටක්. මට ඔබට කොයිතරම් ස්තුති කළත් මදි. මම බලාපොරොත්තු වෙනවා තව තවත් ඔබව ආඩම්බරයට පත් කරන්න.


News Articles
Latest Videos
Most Popular Post