News Line| Off Air| Games
Generic placeholder image

Feb
8

අමරණීය හඬ ඇති “බොලිවුඩයේ නයිටිංගේල්”

417 Views


අමරණීය හඬ ඇති “බොලිවුඩයේ නයිටිංගේල්”

භාරතීය ගීත කෝකිලාවිය, ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්‍රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය යන නාමයන්ගෙන් හැඳින් වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය දෙස් විදෙස් ජනතාවගේ දෙසවන් පින වූ සම්මානිත ගායිකාවකි. ඇයගේ ජීවිත කාලය තුළ ඇගේ සුමියුරු හඩ මුසු කර ගීත තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ගායනා කර රසිකයන්ගේ නොමද ආදරය දිනා ගැනීමට සමත් විය.

ලතා මංගේෂ්කාර් 1929 සැප්තැම්බර් 28 වන දින මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ උපත ලැබී ය. උපතින්ම සහජ ගායන හැකියාවකට උරුමකම් කියූ මංගේෂ්කාර්ගේ පවුලේ සියලු දෙනා ද සංගීත ක්‍ෂේත්‍රයේ ගායක ගායිකාවන් ය. මරාති සංගීතඥයකු සහ නාට්‍ය නළුවකු වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර් සහ ඔහුගේ බිරිඳ වන ශිවන්තිට උපදින වැඩිමහල් දරුවා වන්නේ ලතා මංගේෂ්කාර් ය.

දීනානාත් මංගේෂ්කාර් සහ ශිවන්ති

ඇයගේ සෙසු සහෝදර සහෝදරියන් වන්නේ ආශා බෝස්ලේ, ඌෂා මංගේෂ්කාර්, මීනා ඛාඩිකාර් සහ හදවත්නාත් මංගේෂ්කාර්ය. ලතා මංගේෂ්කාර් සංගීතය හදාරා ගායනයට යොමු වූයේ අවුරුදු 5 දීය. ඒ ඇයගේ පියාගේ මගපෙන්වීම යටතේ ය.

ලතා මංගේෂ්කාර්ගේ පියාගේ අභාවයෙන් පසු, ඇගේ පවුල මුම්බායි වෙත සංක්‍රමණය විය. එහිදී යොවුන් වියේ පසුවන මංගේෂ්කාර් මරාති චිත්‍රපට සඳහා ගායනා කිරීමට අවස්ථාවක් උදා විය. ඇය තම පවුල නඩත්තු කිරීම සඳහා චිත්‍රපට කිහිපයක කුඩා චරිතවල ද රංගනයෙන් දායක වී ඇත. ඒ පහිලී මංගලෝර්, මාස් බාල්, ජීවන් යාත්‍රා, චත්‍රපති ශිවාජී වැනි සිනමාපටවලයි.

සිනමා කර්මාන්තයේ දී ලොව මුල් තැනට එන ඉන්දියාවේ චිත‍්‍රපට පසුබිම් ගායනා ඒකාධිකාරය හිමිව තිබුණේ ලතා මංගේෂ්කාර්ට ය. හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කිරීම හේතුවෙන් ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබේ.

1942 දී ලතා මංගේෂ්කාර් වසන්ත් ජොගල්කර් නිෂ්පාදනය කරන ලද ‘කිටි හසාල්’ නම් මරාටි භාෂාවෙන් නිපද වූ චිත‍්‍රපටයකට සිය පළමුවන චිත‍්‍රපට ගීතය ගැයුවාය. එහෙත් චිත‍්‍රපටය සංස්කරණය කරන අවස්ථාවේ එම ගීතය ඉවත්කර තිබුණි. උස්තාද් අමන් අලි ඛාන්ගෙන් හින්දුස්ථානි සංගීතය උගත් ලතා මංගේෂ්කාර් 1943 දී ‘ගජාභාවු’ සිනමා පටයට සිය පළමු හින්දි ගීතය ගායනා කළාය. 1949 වසරේ ‘මහාල්’ චිත‍්‍රපටය වෙනුවෙන් ‘ආයේගා අනේවාලා’ ගීතය ගායනා කරමින් රසික හදවත් වසඟ කර ගැනීමට සමත් විය. ලතා මංගේෂ්කාර් ගීත ගායනා කළ මුල් යුගයේ චිත‍්‍රපට අතුරින් ඉහළම තැන ලබන්නේ නසීම් පැනිපති නිපද වූ මජ්බූර් චිත‍්‍රපටය ය. එය 1948 දී තිරගත විය. මජ්බූර් සිනමාපටය සඳහා ඇය ‘දිල් මෙරා තෝඩා’ නම් ගීය ගායනා කරන ලදී. 1949දී ‘ඒක් ති ලඩ්කී’ චිත්‍රපටය වෙනුවෙන් මීනා ෂෝරේ රංගන ශිල්පිනියට මංගේෂ්කාර් ගැයූ ‘ලාරා ලප්පා ලාරා ලප්පා’ ගීය ඉතා ජනප්‍රිය විය. 1950 වසරේ දී එවකට ඉන්දියාවේ සිටි හොඳම සංගීතඥයන් වූ අනිල් විශ්වාස්, ශංකර් ජායික‍්‍රිෂන්, නෟෂාඞ් අලි, එස්. බී. වර්මන්, අමර්නාත් ඇතුළු රැසක් යටතේ චිත‍්‍රපට ගීත ගැයීමට ඇයට අවස්ථාව ලැබිණ. 1957 පෙර ලතා මංගේෂ්කාර්ගේ ජනප‍්‍රිය ගීත බොහොමයක සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ එස්. ඞී. බර්මන් ය. 1951, 1955 යන අවුරුදුවල ඔහු සංගීත අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට ගණනාවකම ප‍්‍රමුඛ ගායිකාව වූයේ ලතා මංගේෂ්කාර් ය.

ලතා මංගේෂ්කාර් විදේශික චිත‍්‍රපටයක් සඳහා වූ පළමුවන ගීතය ගයන්නේ 1955 දී ය. ඒ ශ‍්‍රී ලාංකික චිත‍්‍රපටයක් වූ සැඩසුළං චිත‍්‍රපටය සඳහා ය. එය ‘සිරි දැරු හෙළදිව පුරාතනේ…’ නම් සිංහල ගීතයයි . එම චිත‍්‍රපටයේ ඇය ගීත දෙකක් ගායනා තිබේ. එම ගීත මෙසේ ය.

01) ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි

  ශී‍්‍ර ලංකා මාතා – මා ප‍්‍රියාදර ජය භූමී

  ජය භූමී – ජය භූමී – ශ‍්‍රී ලංකා...

02) ඉදිරියටා යමු සැවොමා

   ඉදිරියටා යමු සැවොමා

   නිදහස ලබනට බැමි සිඳ දා…

1955දී ලතා මරාති චිත්‍රපටවලට සංගීත රචනයෙන් දායක වූවාය. පසුව ඈ සිය බාල සොහොයුරා වූ, ප්‍රකට සංගීත අධ්‍යක්ෂක හ්‍රින්ද්‍යනාත් මංගේෂ්කාර් සමඟ එක්ව මරාති ගීත ගායනා කළාය. 1956 දී ‘එන්තන් කන්නලන්’ නම් දෙමළ ගීය ගායනා කළ ඇය, ක්‍රමයෙන් කන්ණඩ, මලයාලම් භාෂාවලින්ද ගායනයට යොමුවූවා ය.1960 දශකය වනවිට සිනමාපට පසුබිම් ගායනය සඳහා ලතා සිය භූමිකාව ඉදිරියට මෙහෙයවා තිබිණි.

‘ආප් කී නසරෝ නෙ සම්ජියා’
‘නේනා බර්සෙ රිම් ජිම්’
‘ලග් ජා ගලේ’
‘තූ කිත්නේ බරස් කා’
‘ආජා රේ පර්දේසී’
‘කුච් නා කහෝ’
‘ආජ් පිර් ජීනේ කී තමන්නා හේ’
‘ගාතා රහේ මෙරා දිල්’

ආදී ගී ඒ අතර විය. රාග අනුව යමින් ගැයූ මොහේබෝල් ගයේ සාවරියා(1952), බටහිර සංගීත හුරුව අනුව ගැයූ අජීබ දාසතා හෙ යේ(1960), බජන් ආකාරයේ ගීයක් වූ අල්ලා තේරා නාම්(1961) ආදී ගී, 60 දශකයේ ඇය ගැයූ සිනමා පසුබිම් ගී අතර ජනප්‍රිය විය. 1970-1980 කාලයේදී ඇය කිෂෝර් කුමාර් සමඟ ‘ආරාධනා’(1969) චිත්‍රපටයට ගැයූ ‘කෝරා කා ගර්’, ‘අන්ධි’(1971) සිනමාපටයෙහි ‘තෙරෙ බිනා සින්දගී සේ’, ‘අභිමාන්’(1973)හි ‘තෙරේ මේරේ මිලනි කී යේ ’, ‘ගර්’(1978)හි ‘ආප්කි ආකෝමේ කුච්’ වැනි ගී ගයා ඇත. අනූ මලික්, ඒ. ආර්. රහුමන්, ජතින් ලලිත් වැනි 1990 දශකයේ සංගීත අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කළ ලතා මංගේෂ්කාර් බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට වූ, සිනමා ශාලා රසිකයන්ගෙන් පිරීතිරී ගිය, ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ’, ‘හම් ආප්කේ හේ කෝන්’, ‘දිල් සේ’, ‘රන්ග් දෙ බසන්ති’ චිත්‍රපටවල ගී ගායනා කර තිබේ.

ඇගේ සහෝදරයා හ්‍රින්ද්‍යනාත් සමග එක්ව ‘චලා වහි දේස්’(1979), ‘රාම් රතන් දන් පායෝ’(1983) සහ ‘ශ්‍රද්ධාංජලී’(1994) මැයෙන් ඈ සංගීත ඇල්බම කිහිපයක්ද නිකුත් කළාය. ‘රාම් රාම් පව්හනේ’(1963) ආදී මරාති චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස කටයතු කළ ලතා මංගේෂ්කාර්, ‘වාදල්’(1953), ‘ජාන්ජර්’(1953) වැනි චිත්‍රපට නිෂ්පාදනයෙන් චිත්‍රපට නිෂ්පාදිකාවක බවටද පත් වූවා ය.

ඉන්දියාවේ පිදෙන ඉහළම සම්මාන වූ ‘‘භාරත රත්න’’ සම්මානය (2001) ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ලතා මංගේෂ්කාර් වාසනාවන්ත විය. එසේම පද්ම භූෂණ (1969), මහාරාශ්ට‍්‍ර භූෂණ සම්මානය (1997), දඩාසාහෙබ් පාල්කේ සම්මානය (1998), පද්ම විභූෂණ (1999), zee සිනමා සම්මානය (1999), එන්.ටී.ආර්. ජාතික සම්මානය (1999) ‘මධුමතී’ චිත්‍රපටයට ගැයූ ‘ආජා රේ පර්දේසී’ ගීතය වෙනුවෙන් පළමු ෆිල්ම්ෆෙයර් සම්මානය (1958) ඇතුළු සම්මාන සියයකට ආසන්න ප්‍රමාණයක් හිමි කර ගැනීමට ඇය භාග්‍ය සම්පන්න විය.

එසේ ම ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබ‍ඳ ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ඇය තරම් සම්මාන දිනාගත් ගායිකාවක් හින්දි සිනමාවේ බිහි වී නොමැත. 2012 දී ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් 10 දෙනා අතරට ද එක් වීමට ඇයට හැකි විය. මංගේෂ්කාර් දෙවැනි වන්නේ ගීත 28,000 ක් ගැයූ මොහොමඞ් රාෆි ට පමණි.

93 වන වියේ පසු වූ ලතා මංගේෂ්කර් සිය කලාදිවියට මුල්තැන දෙමින් ජිවිත කාලය පුරාම තනිකඩ ජිවිතයක් ගත කරන ලදී. ඉන්දිය දේශසිමා අතික්‍රමණය කරමින් සුමියුරු කටහඩින් ලොවම මුසපත් කල භාරත ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මීට සති 2 කට පමණ පෙර කොරෝනා වෛරසය අසාදනය වී මුම්බායි හි බ්‍රිජ් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ගෙන තිබේ. ඇය ඉන් යම් සුවයක් ලැබුවත් පසුගියදා තම ජිවන ගමනට සමු දුන්නා ය.

ඇය ජීවන ගීතයට සමු දුන්නත් අගේ හඩ තව වසර සිය දහස් ගනණක් ලෝකයාගේ දෙසවන් සනසනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post