රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 239 වන දිනයයි.
මෙම කාලය තුළ යුක්‍රේනයට විශේෂ සහයක් දැක්වූ ප්‍රධාන රටවල් දෙක වනුයේ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි .මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කිහිප වතාවක් යුක්රේන යුධ භූමියට පවා ගොස් සෙලෙන්ස්කිට සහාය පළ කළා.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ධූරයට පත්වූ ලීස් ට්‍රස් ද සිය පූර්ණ සහාය යුක්‍රේනයට පළ කළා. දැන් ඊයේ ලීස් ට්‍රස් දින 45 ක ඉතා කෙටි තනතුරු කාලයක් නිමා කරමින් ඉල්ලා අස් වුණා. මේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සතුට පළ කරන රුසියාව අපකීර්තිමත් අගමැතිවරියකගේ ඉල්ලා අස්වීම ගැන සිය රට සතුටු වන බව ප්‍රකාශ කර තිබෙනවා. ලීස් ට්‍රස් කිහිප වතාවක් ම පුටින්ට එරෙහිව සෘජු ප්‍රකාශ සිදු කළ අයෙක්.
මේ අතර මහා බ්‍රිතාන්‍යය ඉරානයට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. ඒ රුසියාවට ඩ්‍රෝන යානා සැපයීමේ චෝදනා එල්ල කරමිනුයි. නමුත් යුක්‍රේනයට පහර දීමට රුසියාව යොදා ගන්නා ඩ්‍රෝන යානා තමන්ගේ නිෂ්පාදන නොවන බවයි ඉරානය අවධාරණය කරන්නේ.
යුක්‍රේනයෙන් පලා යන අයට ජර්මනිය පසුගිය කාලය පුරාම රැකවරණය ලබා දෙනවා. යුක්‍රේන ජාතිකයින්ට නවාතැන් පහසුකම් සැපයූ ඊසාන දිග ජර්මනියේ නිවසක්ම ගිනි ගෙන තිබෙනවා. මෙය යම්කිසි සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි ජර්මන් පොලිසිය සැක පළ කරන්නේ. ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.
රුසියාව යුක්‍රේනය විදුලිබල පද්ධතියට දිගින් දිගටම පහර දෙමින් සිටිනවා. විශේෂයෙන් න්‍යෂ්ටික බලාගාරවලට අමතරව ජල විදුලි බලාගාර පවා අක්‍රීය කිරීමට රුසියානු ප්‍රහාරවල අරමුණයි. කකෝව්කා ජල විදුලි බලාගාරයට පහර දීමේ සැලසුමක් ඇතැයි සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කරනවා.
එසේම සෙලෙන්ස්කි ඉල්ලා සිටින්නේ රුසියාව තම රටට සිදුකළ අපරාධ පිළිබඳව ලෝකෙට හෙළි කරන්න කියලයි.එසේ ඉල්ලීම කරන්නේ යුක්‍රේනය තුළ සිටින මාධ්‍යවේදීන්ගෙනුයි. මේ අතර රුසියාව චෝදනා කරන්නේ බටහිර රටවල් යුක්‍රේනයට සපයන ආයුධ, ආයුධ කළු වෙළෙඳපොළ වෙත ඇදී යන බවයි. සාමාන්‍ය ලෝකයේ විවිධ රටවල් අතර යුද්ධ පවතින අවස්ථාවල ආයුධ කළු වෙළඳපොළක් නිර්මාණය වීම සාමාන්‍ය තත්වයක්. ලෝකයේ ඉතා ඉහළ අයුරින් මුදල් හුවමාරු වන ස්ථානයක් ලෙස ආයුධ කළු වෙළෙඳපොළ හැඳින්විය හැකිය.