News Line| Off Air| Games
Generic placeholder image

May
13

අනූෂා රෝද පුටුවේ ඉඳගෙනම ආපහු රඟපෑමට එක්වෙයි.

5139 Views


අනූෂා රෝද පුටුවේ ඉඳගෙනම ආපහු රඟපෑමට එක්වෙයි.

කාලයක් රංගන ක්‍ෂේත්‍රයේ බැබළුණු අනූෂා සොනාලි අද වනවිට රෝද පුටුවක ගෙවන දුක්බර ජීවිතය ගැන අපි මීට පෙර දැනුම් දුන්නා ඔබට මතක ඇති. කුරිරු දෛවය අනූෂාගේ ඇහැට එක්කළ කඳුළු ඔබත් එක්ක බෙදා හදා ගත් අපි අද මේ සූදානම් වෙන්නේ ඇයත් එක්ක හිනා වෙන්න ඔබවත් එකතු කරගන්නයි. අනූෂාගේ දෙපා උදුරා ගත්තු දෛවයට ඇගේ රංගන කුසලතාවයයි, රූපයයි උදුර ගන්න බැරි වුණා. ඒ හින්දම ඇයට දැන් ආයෙම රංගනයට පිවිසෙන්න වරම් ලැබිලා තියෙනවා.

ජීවිතේ යළි පටන් ගන්න හදන තැනින්ම අපි මේ කතාවත් පටන් ගමු.
මම ආයෙමත් රඟපාන්න සූදානම් වෙනවා. වසර දහයකට ආසන්න කාලයක් මම නිහඬව සිටියා. මේ නව ආරම්භය මට දැනෙන්නේ මගේ දෙවැනි උපත වගේ.

අනූෂා අන්තිමට කරපු රංගනය මොකක්ද?
අන්තිමට දායක වුණේ “අම්මයි දුවයි“ කියන ටෙලි නාට්‍යයට. ඒ 2004දී. 2007දී රඟපෑ “සංගිලි“ චිත්‍රපටය තමයි අන්තිමට රඟපෑ චිත්‍රපටය. මේ නිර්මාණ දෙකටම දායක වනවිට මම නිරෝගීව හිටියා. ඉන්පසුව අසනීප වෙලා රෝද පුටුවට වැටුණා. රඟපෑමත් ගිලිහිලා ගියා. මම ගෙදර තනි වුණා.

දැන් ඔබ කරන්න යන රඟපෑම මොකක්ද?
නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි නාට්‍යයේ තමයි මම රඟපාන්නේ. මම අන්තිමට දායක වූ “අම්මයි දුවයි“ ටෙලි නාට්‍යයත් නාලකගේ. මේ ටෙලි නාට්‍යයත් නාලකගේ. මේක කොටස් 90ක විතර නාට්‍යයක්. පළමු කොටස් ටික රූගත කරලා ඉවරයි. ඉතුරු ටික තවම රූගත කළේ නැහැ.

ටෙලි නාට්‍යයෙත් අනූෂා රඟපාන්නේ රෝද පුටුවක සිටින කාන්තාවකගේ චරිතයක්ද?
ඔව්, මුල් කා‍ලේ හොඳට ඉඳලා පසුව රෝද පුටුවකට වැටුණ ඉන්ද්‍රා කියලා කාන්තාවක් විදියටයි මම රඟපාන්නේ.

මේ ටෙලි නාට්‍යය මොන වගේ නිර්මාණයක්ද?
චරිත කිහිපයක් වටා දිවෙන කතාවක්. මමයි (ඉන්ද්‍රා) මගේ සැමියා තිලක් (ශ්‍යාම් ප්‍රනාන්දු) දෙන්නගේ එකම පැතුම අපේ දුව කාවින්දි (නිලුක්ෂි සාවන්‍යා) ට හොඳට උගන්නලා ඉහළ තැනකට ගෙන ඒමයි. නමුත් අපිට ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙනවා. මම අසනීප වූ හින්දා ඒ ප්‍රශ්න තවත් වැඩිවෙනවා. සාමාන්‍ය කාර්යාල සේවකයෙක් වන තිලක්ගේ වැටුපෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඔය අතරේ අපේ දුවගේ ප්‍රේම කතාව තව පැත්තකින් ගලාගෙන යනවා. ප්‍රධාන චරිත කිහිපයක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ.

මේ සඳහා දායක වන සෙසු නළු නිළියෝ කවුද?
රෙක්ස් කොඩිප්පිලි, මිලින්ද මඩුගල්ල, මධු ලියනගේ ඇතුළු නළු නිළියන් රැසක් රඟපානවා.

රෝද පුටුවේ ඉඳන් රඟපාන එක මොන වගේ අත්දැකීමක්ද?
ආයෙම රඟපෑමට එන්න ලැබිම නම් ලොකු සතුටක්. ඒ හින්දා රෝද පුටුවේ ඉන්නේ කියලා කිසි අපහසුවක් දැනුනේ නැහැ. ඒත් මම හින්දා අනිත් අය ගොඩක් අපහසුතා වින්දා. නාලක ඇතුළු නිෂ්පාදන කණ්ඩායම දුන් සහය මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මාව ෂූටිං ගෙනියන්න කාර් එකක් පවා දුන්නා. ඒ මට වෑන් එකේ යන එක අමාරු හින්දා. එක දර්ශනයක් තිබුණා මුහුදු වෙරළක දර්ශනයක්. රෝද පුටුවෙන් මුහුදු වෙරළේ යන්න බැහැ. නිෂ්පාදන කණ්ඩායම එදා මාව උස්ස ගෙන තමයි ගියේ.

අනූෂා දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ ?
මේ ටෙලි නාට්‍යයේ ෂූටිං දිගටම තියෙනවා. අලුතින් නිර්මාණයට ආරාධනා ලැබුණොත් මම මේ ඉන්න විදියට රඟපාන්න පුළුවන් චරිතයක් නම් සතුටින් භාරගන්නවා.

උපුටාගැනීම – චන්ද්‍රලතා තන්ත්‍රීගේ – රිද්ම අතිරේකය


News Articles
Latest Videos
Most Popular Post