News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනෙන් පිටව යයි

377 Views


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනෙන් පිටව යයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙරටට පැමිණි ඒ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් පළ කෙරුණා.

කොරෝනා වසංගතය පහව යාමෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

යුද්දය අවසන් කළ පසු මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උපකාර කළ බවත්, එබැවින් ශ්‍රී ලංකාව ණය උගුලක සිර වී නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මයික් පොම්පේයෝ මහතා හමුවේ අවධාරණය කළා.

පොම්පේයෝ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණේ ඉන් අනතුරුවයි.

එම හමුවෙන් පසුව විදේශ අමාත්‍යවයා සහ රාජ්‍ය ලේකම්වරයා එක්ව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත් වූ අතර දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ, මෙරට විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැඳි ප්‍රතිපත්තියක් බවයි.

වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, මෙරට ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්ති විඳිමින් සාර්ථකත්වය සහ තිරසර සංවර්ධනයක් අත්කර ගැනීම තම රටේ අපේක්ෂාව බව එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියා.

මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටයි.

පසුගිය වසරේ අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් එම දේවස්ථානයට දැඩි හානි සිදු වීම පිළිබඳව පොම්පේයෝ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස මෙරට නිල සංචාරය නිම කරමින් අද දහවල් මාලදවයින බලා පිටත්ව ගියා.


News Articles
Latest Videos
Most Popular Post