News Line| Off Air| Games
Generic placeholder image

Dec
2

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

461 Views


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් වෙත අද උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය දිනවල ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් අවතැන් වුවන් හා ඇතිවූ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒවා වලක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අද (02) පෙරවරුවේ කැඳවා තිබු හමුවේදීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නා.

අයහපත් කාලගුණ තත්වයන් හේතුකොටගෙන මේ වනවිට දිස්ත්‍රික්ක 9 ක ජනතාව ආපදා තත්වයට ලක්ව ඇති අතර මඩකලපුව, නුවරඑලිය, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

මෙලෙස අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීම හා ඔවුන්ගේ සනීපාරක්ෂක තත්වයන් පිළිබඳව නොපමාව කටයුතු කරන ලෙස හා පීඩාවට පත්වූවන්ට වියලි ආහාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස එහිදී අගමැතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ආපදාවට ලක්වූ දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය මේ දිනවල පවතින බැවින් විභාගයට පෙනී සිටින සිසුනට තම විභාග මධ්‍යස්ථාන වලට යාමට නොහැකිනම් විකල්ප විභාග මධ්‍යස්ථාන ලබාදෙන ලෙසද බලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව සදහන්.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post