News Line| Off Air| Games
Generic placeholder image

Dec
24

නත්තල් ගීතයක, ඔබ නොදන්නා රහසක් අනිල් භාරතී හෙළිකරයි.

2221 Views


නත්තල් ගීතයක, ඔබ නොදන්නා රහසක් අනිල් භාරතී හෙළිකරයි.

මේ උදා වෙලා තියෙන්නේ නත්තල් බැති ගී හැම පැත්තෙන්ම ඇහෙන සමයක්. නත්තල උදාවන්නේ අද රාත්‍රියේ වුනත් මේ දෙසැම්බර් මාසය පුරාම නත්තල හා බැඳුණු ගීත මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙනවා. ඒ බැති ගී ගායනා කරන ගායක ගායිකාවන් අතරින් කිසිසේත්ම අමතක කරන්න බැරි ගායකයෙක් තමයි අනිල් භාරතී කියන්නේ. දශක ගණනාවක් තිස්සේ ගායන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔහු නත්තල් කාලෙට ඉහළම ඉල්ලුමක් තියෙන ගායකයෙක්. මේ ඔහු එක්ක කෙරුණ කතාබහක්.

අනිල් භාරතී කියන්නේ නත්තල් මාසයත් එක්ක බැඳිලා තියෙන නමක් වගෙයි කීවොත් නිවැරදියි නේද?
ඒක ඇත්ත. මම අවුරුද්දේ වැඩිපුරම කාර්ය බහුල වෙන මාසය තමයි නත්තල් මාසය. මොකද නත්තල් මාසෙටනේ මට තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ.

සාමාන්‍යයෙන් නත්තල් මාසෙට කොච්චර විතර ප්‍රසංගවලට ඔබට සහභාගි වෙන්න සිදුවෙනවාද?
ගණන් කරලා කියන්න බැරි තරමට මේ කාලෙට මට ආරාධනා ලැබෙනවා. රට පුරා තියෙන විවිධ ආයතනවල කැරොල් ප්‍රසංග, රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ආදියට මේ දවස්වල මාව නැතුවම බැරි ගායකයෙක් බවට පත් වෙලයි තියෙන්නේ.

අද වෙද්දී ඔබ කොච්චර විතර නත්තල් ගීත ගායනා කරලා තියෙනවාද කියලා මතකද?
මම මේ වෙනකොට මගේම ගීත 100කට වැඩි සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවා. ඒ අතරින් 50කට වැඩි ගණනක් නත්තල් ගීත.

ඔබ නත්තලට විතරක් කළ එළි බහිනා ගායකයෙක් විදිහට ඇතැමුන් ඔබව දකින්නේ ඔය තරම් විශාල කතෝලික ගීත එකතුවක් ඔබ සතුව තිබෙන නිසාම වෙන්න ඇති නේද?
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. අනික අපේ ගීත දැන් මාධ්‍ය වලින් ප්‍රචාරය කරනවාත් අඩුයිනේ. ඒනිසාත් මම නත්තල් ගීත විතරක් ගායනා කරන ගායකයෙක් විදිහට ඇතැමුන්ට පේනවා ඇති.

ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ මොන ගීතයද කියලා කියන්න පුළුවන්ද?
මම හිතන්නේ “බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ” කියන ගීතය තමයි මගේ නත්තල් ගීත අතරින් වැඩිපුරම ජනතාව අතරට ගියේ.

කොහොමද ඒ ගීතය ඔබට ගායනා කරන්න ලැබුණේ?
මම ගායනා ජීවිතය ආරම්භ කළේ ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමෙන්. ඒ කා‍ලේ ක්ලැරන්ස්ට වුවමනා වුණා නත්තල් ගීතයක් නිර්මාණය කරන්න. විශේෂිතම කාරණය තමයි ඔහු මේ ගීතය රචනා කර ගන්න ගියේ. කතෝලිකයෙක් ළඟට ‍නෙවෙයි බෞද්ධයෙක් ළඟට.

ඒ කියන්නේ මේ ගීතය රචනා කළේ බෞද්ධයෙක්?
ඔව්. ඒ පද රචකයා තමයි කරුණාරත්න අබේසේකර. එදා ගීතය නිර්මාණය වූ දා පටන් අද දක්වා දශක හතරක කාලයක් ගතවෙලා තිබුණත් “බෙත්ලෙහෙම් පුරේ” ගීතයේ ජනප්‍රියත්වය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ.

ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙන ඔබ කණ්ඩායම් සංගීතයෙනුත් සදහටම ඉවත් වන්නට වුණා නේද?
ඔව්. ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ අවුරුදු 5 ක් විතර ඉඳලා මම ගායකයෙක් විදිහට තනිව ගමනක් යන්න පටන් ගත්තා. මොකද කණ්ඩායම් සංගීතයත් එක්ක ගියා නම් මට ගායකයෙක් විදිහට මේ තරම් ජනප්‍රිය වෙන්න බැරි වෙනවා.

ඒ ජනප්‍රියත්වයට සාක්ෂි විදියට රසිකයන් වැලඳගත් ගීත රැසක් ඔබ සතුව තිබෙනවා?
ඔව්. අද මෙන් ඉරු දින මා ආදරෙයි සඳයි තරුයි සහ ටිකිරි මලී මගේ බොහෝ ගීත හුඟක් ජනප්‍රිය වුණා. මේ ගීතත් එක්ක අවුරුදු 45 ක් තිස්සේ ජනප්‍රියත්වය එක විදිහටම පවත්වාගෙන යන්න ලැබිම ලොකු වාසනාවක් විදිහටයි මට දැනෙන්නේ.

ඒ වාසනාවත් එක්ක වෘත්තීයමය ගායකයෙක් විදිහට ජීවිතය ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගන්න ඔබට හැකි වුණාද?
දැන් කා‍ලේ ගායක ගායිකාවන්ට වගේ ‍නෙවෙයි. සෙමින් කටුක ගමනක් ඇවිල්ලයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. හැමදෙයක්ම කළමනාකරණය කරගෙන ඒ ගමන ආපු නිසා මම අද මගේ පවු‍ලේ උදවියත් එක්ක සතුටින් ජීවත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post