News Line| Off Air
Generic placeholder image

Oct
30

වප් පුර පසළොස්වක පොහොය අදයි

767 Views


වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සියලු වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කිරිම අද සිදු කෙරේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී වන අතර සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් පොහෝ දින සිදුවිය.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවා ගැනීම සඳහා දෙවනපෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යවා ඇත්තේ ද අද වැනි දිනකදී ය.

ලක් බි‍මේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ තෙරුන්, ථූපාරාම සීමා මාලක‍යේ දී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහෝ දිනක සිදුව තිබේ.

ඇසළ පොහෝ දිනයේ පටන් තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මේ පොහෝ දිනයේදී ය.

කොරෝනා තත්ත්වය හමුවේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පූජෝත්සවය පවත්වන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ සියලු විහාරස්ථාන වෙත දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් අත්‍යාවශ්‍ය අංගවලට පමණක් සීමා වෙමින් කඨින පූජෝත්සවය පවත්වන ලෙසයි.

එහිදී අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම අනිවාර්යය වෙයි.

කඨින චීවරය තැන්පත් කර ඇති ස්ථානයේ සිට කෙටිම දුරකින් විහාරස්ථානයට වැඩම කළ හැකි ආකාරයෙන් මෙවර කඨින පූජෝත්සවය පැවැත්වීම සිදු කළ යුතු බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post