News Line| Off Air
Generic placeholder image

Nov
1

කොරෝනා මර්දනයට ජනපති ගත් තීරණ

485 Views


කොරෝනා මර්දනයට ජනපති ගත් තීරණ

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර ජනාධිපති කාර්යාලයේදි අද පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම වෙනුවට නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර එම ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිසිය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක්විය යුතු බවයි.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ දස වැනි දිනයේදී කළ යුතු බවත්, ඒවායේ ප්‍රතිඵලවලට අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජ‍න ජීවිතයට යොමු කළ හැකි බවත් ජනාධිපතිවරයා නියම කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, කොරෝනා වෛරසය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොතිබූ මින් පෙර අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි වූ බවයි.

එහිදී යෙදූ උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කරගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කඩිනමින් දීමට උපරිම උත්සාහ කළ යුතු බවත්, පෞද්ගලික හෝ රජයේ රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරුණ ද අදාළ පුද්ගලයා එහි වාර්තාව ලැබෙනතෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පෞද්ගලික රෝහල් සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණයට ලක්විය යුුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ්‍.

කොරෝනා ආසාදිතයෙකු හමු වූ පසු ආශ්‍රිතයින් හා ප්‍රදේශ හුදෙකලා කරනු ලබන්නේ, වෛරසය පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනම් පියවරක් ලෙස බවත්, ඇඳිරි නීතිය පැනවීමෙන් ද එය අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ.

එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර, දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවීමට ද මෙහිදී තීරණය කෙරුණා.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති දෙකක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස වූ අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මින් පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කළ බවයි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයින්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, පෙර පරිදිම මාසික වැඩිහිටි දීමනාව නිවසටම ගොස් භාර දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා.

එමෙන්ම රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුවත් ආසාදිතයින් හමු වුවහොත් ඒ පිළිබඳ වෙනම විමර්ශනය කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ බලපැවැත්වෙන ඇඳිරි නීතිය නොවැම්බර් 9 වැනි සඳුදා උදෑසන 5 තෙක් දීර්ඝ කිරීමටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 9 වැනිදා දක්වා ඇඳිරි නීතිය පැනවීමටත් මෙහිදී තීරණය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post