මියගිය පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනුණේ ඊයේ දිනයේදීයි.
අදාළ පුද්ගලයාව පසුගිය 31 වැනිදා රෝහලට ඇතුළත් කර තිබුණේ, සියදිවි හානිකර ගත් බව පවසමින් වන අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටියා.
කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනුණා.
ඒ අනුව ඊයේ දහවල් වනවිට නිවේදනය කෙරුණේ, එය මෙරට සිදු වූ 22 වැනි කොරෝනා මරණය ලෙස නම් කරන බවයි.
නමුත් අදාළ මරණය සියදිවි නසා ගැනීමකින් සිදු වූ මරණයක් වන අතර එය කොරෝනා වෛරසය හේතුවන් සිදු වූවක් නොවන බව ඊයේ පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.
එම නිසා අදාළ මරණය කොරෝණා මරණයක් ලෙස නොසැළකීමට තීරණය කළ බව එම අංශය ඊයේ රාත්‍රී 6.30 පමණ වනවිට නිවේදනය කළා.
කෙසේවෙතත් ඊයේ ඔහුගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව වාද්දුව, වේරගම සුසාන භූමියේදී සිදු කෙරුණා.
මෙලෙස මියගියේ පානදුර, වෑකඩ, ජයඋදාන ගම්මාන පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්.
කොරෝනා වෛරසය වැළඳීම නිසා හටගත් බිය හෝ කම්පනය හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇති බවට කතාබහක් නිර්මාණය වී තිබුණත් කළ සොයා බැලීම්වලදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවටයි.
මරණය සිදු වූ දින රාත්‍රී නිවැසියන් සමග රූපවාහිනිය නැරඹූ බවත්, එම අවස්ථාවේ තමන්ට මඳ අපහසු ගතියක් දැනෙන බවත් පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බව පවුලේ ඥාතීන් පවසා තිබෙනවා.
පසුව ඔහුගේ මව ඔහුව සොයා ඇති අතර එම පුද්ගලයා ඔහුගේ කාමරයේ සිට තිබුණේ නැහැ.
අනතුරුව සියල්ලන් එක්ව කළ සෝදිසියේදී මුළුතැන්ගෙයි බාල්කයක එම පුද්ගලයාගේ සිරුර එල්ලෙමින් තිබෙනු දුටු බව මියගිය පුද්ගලයාගේ සහෝදරයා පොලිසියට පවසා තිබුණා.
ඔවුන්ගෙන් පොලිසිය වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවයි.
එබැවින් එම පුද්ගලයාට අවශ්‍ය පමණට මත්ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඇති වූ පීඩනය නිසා සිය දිවි හානි කර ගැනීමට පෙළඹෙන්නට ඇතැයි නිගමනය කළ හැකි බවට පරීක්ෂණවල යෙදී සිටින නිලධාරීන්ගේ අදහසයි.