News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව ජනපති කියයි

560 Views


වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව ජනපති කියයි

කොරෝනා වෛරසයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිතුමා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොවිඩ් මර්දන කාර්යය සාධක බලකා සාමාජිකයින් අද හමු වූ අවස්ථාවේදීයි.

එහිදී එම සාමාජිකයින් බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා වෛරස් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කළා.

ජනතාව වගකීමෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බවත් ජන ජීවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැළකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බවත් පෙන්වා දුන්නා.

මේ අතර කොරෝනා මර්දනයට සහාය වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මඟ පෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයා වෙත මෙහිදී හඳුන්වා දුන්නා.

කොරෝනා පැතිරවීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වන ආසාදිතයින්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයින්ගේ සංචරණය යන ගැටළු ද්විත්වයම මෙම ඩිජිටල් ව්‍යාපෘතිය මගින් එකවර විසඳා ගත හැකි වනු ඇති.

“සුවෙන් සිටිමු” QR කේතයක් (QR Code) මත පදනම් වන අතර සියල්ලන්ට පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනවා.

Staysafe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ලබාගත හැකි වනවා.

ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් ඕනෑම ආයතනයක නම, ලිපිනය, මිහිකරුගේ නම සහ දුරකතන අංකය වැනි තොරතුරු දීමෙන් QR කේතය ලබාගත හැකි වන අතර එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කළ යුතු බවයි ව්‍යාපෘති හිමියන් පෙන්වා දෙන්නේ.

එමගින් ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති හෝ නැති සියලු දෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනාගනු ලබන අතර ඒ පිළිබඳ සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post