නිරෝධායනය වෙමින් සිටින ජනතාවට සහන සැළසීමට රජයෙන් රුපියල් බිලියන 7.3කට අධික අරමුදලක් (මිලියන 7355.53) වෙන්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය යළිත් වාර්තා වීමත් සමග මේ දක්වා කාලය තුළදී අදාළ මුදල් ප්‍රමාණය වෙන් කර තිබෙනවා.
එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් අවශ්‍ය මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මහාභාණ්ඩාගාරය නිවේදනය කළා.
නිවෙස්වල නිරෝධායනය වන පිරිස් සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව සඳහා ද මෙම අරමුදල් වෙන් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව රුපියල් 5000 දීමනාව ලබා දීමේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,721.27ක් ද, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,333.60ක් ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 1310ක් ද වෙන් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහන ලැබිය යුතු පවුල් වෙනුවෙන් දෙන දීමනාවට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 469.57ක් වන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128.39ක්.
මේ අතර නිවෙස්වල නිරෝධායනයට යොමු කර සිටින පවුල් සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා පමණක් රුපියල් මිලියන 75ක මුදලක් වෙන්කර තිබෙනවා.
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 40 බැගින් ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 24.61ක මුදලක් ද, ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 17.86ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.92ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.60ක් ද වශයෙන් දිස්ත්‍රික්ක 20ක් සඳහා මුදල් වෙන් කෙරුණා.
එලෙස වියළි ආහාර මලු ලබා දීම සඳහා අදාළ දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 336.54ක් වන අතර රුපියල් 5000 දීමනාව සඳහා රජයෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 6.9ක්.
එමෙන්ම දිස්ත්‍රික්ක 11ක නිරෝධායන කටයුතුවලට රුපියල් මිලියන 56.16ක මුදලක් වෙන් කර තිබෙනවා.