මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25දෙනෙකු පමණක් සහභාගී කරවාගනිමින් ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කිරීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අදාළ තීරණය ගත් බවයි එම සංවිධානය පවසන්නේ.
සිකුරාදා දිනයේ මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ජුම්මා යාඥාවට සාමාන්‍යයෙන් ප්‍රදේශයේ පිරිමි පුද්ගලයින් 40 දෙනෙකුවත් අවම වශයෙන් සහභාගි විය යුතු වනවා.
එහෙත් සෞඛ්‍ය අංශවල උපදෙස් හෝ වෙනත් හේතුන් මත 40 දෙනෙකුට සහභාගි විය නොහැකි තත්වයක් උදා වුවහොත් ජුම්මා යාඥාව වෙනුවට ලුහර් සලාතය ඉටු කළ යුතු බව ඉස්ලාමයේ නියමය බව සඳහන්.
ඒ අනුව මේ අවස්ථාවේදීත් එය අනුගමනය කරන ලෙසයි ජමියතුල් උලමා සංවිධානය එම දේවස්ථානවලට දැනුම් දෙන්නේ.