හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර එම ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ඇතුළු වීම හෝ පිටවීම හෝ ඒ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට අවසර හිමි නොවන බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශ හරහා ධාවනය කෙරෙන බස් රථ සහ දුම්රියවලට ඒ සඳහා අවසර හිමි වන අතර හුදෙකලා ප්‍රදේශවල නතර කිරීම, මගීන් නංවාගැනීම හෝ බැස්සවීම සිදුකළ නොහැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ බෙදා හැරීමට අවසර ලබා දී ඇති ආයතන හෝ පුද්ගලයින්ට පමණක් ඒ සඳහා එම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වනවා.
මේ අතර අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා අවසර දී ඇති ආයතන, තැනැත්තන් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා මත හැර වෙනත් කිසිඳු තැනැත්තෙකුට අදාළ ප්‍රදේශවලින් බැහැරට යාමට අවසර හිමි වන්නේ නැහැ.
පොලිසිය පවසන්නේ, වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති එම සංචරණ සීමාවන් අනුගමනය කරමින් ඒ සඳහා මහජනතාව සිය උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.