මහමඟ මියගොස් සිටියදී හමු වන පුද්ගලයින්ගේ මරණවලට හේතුව කොරෝනා වෛරසය යැයි විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.
මේ වනවිට මෙරට සිදුව ඇත්තේ කොරෝනා මරණ 48ක් පමණක් බවත්, ඉන් එක් මරණයක් පමණක් මහමඟදී මියගිය පුද්ගලයෙකුගේ යැයි තහවුරු වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මින් පෙර ද අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ.
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අසත්‍ය පුවත් බෙදා හැරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.