ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එය මෙරට 75වැනි අයවැය වාර්තාව ද වනවා.
2021 විසර්ජන කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් මස 6 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පසුගිය 20 වැනිදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ, 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා හෙට පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වන බවයි.
අනතුරුව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.
2021 වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2600ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
දෙවැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5ට පැවැත්වෙන අතර 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර 10 වැනිදා පස්වරු 5ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, සමස්ත අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසිවලට අනුකූලව එම රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා ආරාධනාකර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාල සීමාව තුළ කථානායක ගැලරියේ ආසන පනවා ඇත්තේ, සෞඛ්‍යාරක්ෂිත විධි විධානවලට අනුවයි.
එමෙන්ම මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා ඇති බවයි වාර්තා වන්නේ.
අයවැය ප්‍රකාශයෙන් පසුව මුදල් අමාත්‍යවරයා සාම්ප්‍රදායිකව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වෙන අතර එය අමාත්‍යවරුන්ට, විදේශ තානාපතිවරුන්ට සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇති.