මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා පියවර ගත්තා.
ඒ, මහනුවර නගරය සහ ආශ්‍රිත නගර කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන්.
එමෙන්ම පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන තවත් කරුණක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ, බස් රථ ආදි පොදු ප්‍රවාහන සේවාවල ප්‍රමාණය ඉක්මවා මගීන් නංවා ගැනීමයි.
ඔහු පෙන්වා දෙන්නේ පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් පොදු ප්‍රවාහන පහසුකම් භාවිතකර පාසල් වෙත පැමිණෙන බවයි.
බස් රථවලට මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් සීමා පනවා තිබියදීත් එම රියදුරන් සහ සහායකයින් එය නොතකා අධික ලෙස මගීන් නංවා ගැනීම තුළින් පොදු ජනතාවගේ මෙන්ම විශේෂයෙන් පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට එය තර්ජනයක් වී ඇති බව ආණ්ඩුකාරවරයා පවසනවා.
මේ හේතුවෙන් පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා විදිමත් ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා නගර සීමාවේ පාසල්වලට තාවකාලිකව නිවාඩු ලබා දීමට තීරණය කෙරුණු බව ඔහු පෙන්වා දුන්නා.
අදාළ වැඩපිළිවෙල මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.