ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නඩු දෙකකට අදාළව පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මෝසමක් ඉදිරිපත් කරමින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම් නියෝග ඉවත් කෙරුණා.
2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැයකර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ඔවුන්ට එල්ල වී තිබූ චෝදනාවයි.
එම නඩුවෙන් ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මේ අතර 2015 ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38ක මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිල දී ගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් ගොනුකර තිබු අතර එම නඩුව සඳහා ද ඒ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.
එම නඩුව ද අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේ, විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.