මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධාගාරය බිඳ එහි තිබූ විවිධ ඖෂධ වර්ග භාවිතකර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.
බන්ධනාගාරයේ 1600ක පමණ රැඳවියන් පිරිසක් එහි දොරවල් කඩා පිටතට පැමිණ තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙස පවසා තිබුණා.
චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී රැඳවියන් නිලධාරීන්ට පහර දී කලහකාරී තත්ත්වයක් ඇති කළ බවයි.
එහිදී ගල් සහ පොලුවලින් පහර දෙමින් රැඳවියන් පළා යාමට උත්සාහ ගෙන තිබුණා.
අවවාදකර ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ ගෙන තිබුණත් පිරිස පාලනය නොවීම හේතුවෙන් නිලධාරීන් රබර් උණ්ඩ යොදා වෙඩි තබා තිබෙනවා.
පසුව අවම බලය යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදු වූ බවයි චන්දන ඒකනායක මහතා පැවසුවේ.
ඒ අතරතුර බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබු මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් පානයකර ඇති බව ද ඒ මහතා කියා සිටියා.
ඉන් අනතරුව ඔවුන් වඩාත් ප්‍රචණ්ඩව හැසිරුණු බවත් පසුව ඔවුනොවුන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ විශාල ගැටුමක් ඇති කළ බවත් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.
ඖෂධ ගබඩාවේ මානසික ආතතියට භාවිත කරන ඔෞෂධ සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000ක් පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් භාවිත කර ඇති බවත් අනාවරණ වී තිබෙනවා.
මේ අතර එම සිද්ධියෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම සඳහා වෙනම කමිටුවක් ද පත්කර ඇති බවයි චන්දන ඒකනායක මහතා කියා සිටියේ.