News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුර ඌරි වෙරළෙන් හමුවෙයි – අද රාත්‍රී දක්වා මුහුදු නොයන්නැයි උපදෙස්

506 Views


අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුර ඌරි වෙරළෙන් හමුවෙයි – අද රාත්‍රී දක්වා මුහුදු නොයන්නැයි උපදෙස්

අධික වැසි තත්ත්වය හමුවේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී පසු ගිය පළමු වැනිදා අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර කරෙයිනගර්, ඌරි වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

ඔහු ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී රළ පහරට හසුව අතුරුදන් වූ බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.

එලෙස මිය ගියේ, වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතීම හේතුවෙන් එම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අද රාත්‍රී වනතුරු පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව හෙට දක්වා බලපැවැත්වෙන පරිදි අද දහවල් නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි වනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 – 50 අතර පැවැතිය හැකි බවයි.

මේ අතර අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොළොන්තලාව ප්‍රදේශයට වන අතර එම ප්‍රමාණය මිලි මීටර 101.5ක්.

එමෙන්ම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.2ක් ලෙස හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර අවම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ නුවරඑළියෙන්.

ඒ සෙල්සියස් අංශක 13.4ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post