News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

රසවත් ගී රැසකින් ජන හදවත් මුසපත් කළ “ක්‍රිස්ටෝ” අද..

717 Views


රසවත් ගී රැසකින් ජන හදවත් මුසපත් කළ “ක්‍රිස්ටෝ” අද..

විවිධ ශෛලීන්වලට ගීත ගායනා කරමින් ජන හදවත් ඇද බැඳගත් ජ්‍යේෂ්ඨ සම්මානනීය ගායනවේදී “ක්‍රිස්ටෝ” නොහොත් ක්‍රිස්ටෝපර් පෝල් මහතා මතකයේ රැඳෙන ගීත, සංගීත ලොවට තිළිණ කළ ගායකයින් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන ගායන ශිල්පියෙක්.

ක්‍රිස්ටෝපර් පෝල් මහතා මේ වසරේ මුල් දින කිහිපයේ දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

ජනවාරි මස 2 වැනිදා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෝල් මහතාව රෝහල්ගත කළ අතර එහිදී කළ පරීක්ෂණවල වාර්තාවලට අනුව මොළයට සම්බන්ධ නහරයක ලේ කැටියක් සිර වී ඇති බව හඳුනා ගැනුණා.

ඊට අදාළ ප්‍රතිකාර සඳහා කලක් රෝහල්ගතව සිටිය ද මේ වනවිට ඒ මහතා වේයන්ගොඩ පිහිටි ඔහුගේ දියණියගේ නිවසේ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද වනවිට පසු වන්නේ අර්ධ අංශභාග තත්ත්වයේයි.

Image may contain: 2 people, people sitting

1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.

1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් මහත්මිය සමගයි.

ඉන් අනතුරුව බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැඳනෙ ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සමත් වුණා.

අදටත් ඕනෑම අයෙකුගේ මුව අග මිමිනෙන “හා මල් පිපෙන්නේ” ගීතයට හිමිකම් කියන්නේ ද ක්‍රිස්ටෝපර් පෝල් මහතා වන අතර එය නිර්මාණය වන්නේ 1958 වසරේදීයි.

1968 වසරේදී පෝල් මහතා ලිලානි ගුණසේකර නමැති තරුණිය සමඟ විවාහ දිවියට එළැඹෙන අතර “රුවන් තොරන් තනා” යන ගීතය නිර්මාණය වන්නේ ඉන් පසුවයි.

වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සිය හඬ දායකත්වය ලබා දුන්නා.

ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා මෙන්ම දේශීය සහ විදේශීය වශයෙන් එළිමහන් ප්‍රසංගවලට ද පෙනී සිටිමින් ගීත ගායනා කළ ඔහු නව පරපුරේ ගායකයින් සමග ද සිය ගායන කෞෂල්‍යය විදහා පෑවේ තාරුණ්‍යය සමඟ පිය මනින ගායකයෙක් බව මොනවට පසක් කරමින්.

ටී.එම්.ජයරත්න සන්ෆ්ලවර් සංගීතයට - YouTube

අමරණීය ගීත රැසක් සංගීත ලොවට දායාද කරමින් කළ සේවය වෙනුවෙන් 2013 වසරේ කලා භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

එමෙන්ම දශක 5කට අධික කාලයක් ගී ගැයූ පෝල් මහතාව ගෞරවයට පාත්‍ර කිරීම පිණිස මීට වසර දෙකකට ඉහතදී ‘ක්‍රිස්ටෝ 82’ ලෙස නම් කෙරුණු තනි ප්‍රසංගයක් ද (Solo Concert) ඔහු වෙනුවෙන් සංවිධාන කෙරුණා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ එය පැවැත්වුණේ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

එලෙස සිය හඬින් කාගේත් සිත් නිවා සැනසූ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතාට “සියත අපි” ඉක්මන් සුව පතන්නෙමු!

රසික ඔබටත් පහත දුරකතන අංකය ඔස්සේ ක්‍රිස්ටෝපර් පෝල් මහතා සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතිනවා.

077 0 113 600 – ශාමිලා පෝල් මහත්මිය


News Articles
Latest Videos
Most Popular Post