News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැකයක්?

688 Views


රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැකයක්?

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැක මතුව ඇතැයි වාර්තා වනවා.

එම හිමිනමගේ දේහය පසුගියදා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමු වූ අතර පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසයකර ඇති බවයි.

35 වසරක් පැවිදිව සිටි උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මින් පෙර වැඩවාසය කර තිබුණා.

පිණ්ඩපාතයෙන් යැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනානුයෝගීව වැඩ විසූ උන්වහන්සේ පිළිබඳ පසුගිය 05 වැනිදා පස්වරුවේ සිට කිසිඳු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ.

ඒ අතර උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයා ගැනුණා.

පසුව කළ සොයා බැලීමේදී එම කලපුවේ පා වෙමින් තිබියදී ස්වාමීන් වහන්සේගේ මෘත දේහය හමු වූ අතර උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක් ද ගැට ගසා තිබූ අයුරු දැකගත හැකි වුණා.

දේහය සොයාගත් ස්ථානයට පැමිණි ගාල්ල මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්වුවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද සිදුකෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.

මේ අතර උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වී වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post