ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ගොනුකර ඇති රිට් පෙත්සම අද සළකා බැලුණා.
ඒම අවස්ථාවේදී එහි වගඋත්තරකාරියක ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අමාත්‍යවරිය වෙනුවෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තහනම් කෙරෙන අතුරු නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි.
ඒමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී ඇති බවයි.
එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ.
එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.
ඒ හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර සළකා බැලීම ඒළැඹෙන 18 වැනිදා දක්වා කල් තැබුණා.