කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සහ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල 1-5 දක්වා ශ්‍රේණි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් අවසන් වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු වන අතර ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු බවයි.
ඊට අදාළ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේදී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂයය නිර්දේශ ආවරණය වී නොමැති නම් ලබන වසරේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් අදාළ විෂයය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස පළාත් බලධාරීන් හා විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් චක්‍රලේඛය හා පාසල් ක්‍රියාකාරකම් ඇතුළත් දින දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී නිකුත් කරනු ඇති.