පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව නිර්දේශ 13ක් සහිතව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා.
ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
මිය ගිය පිරිසෙන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ද හඳුනා ගැනුණා.
ඔවුන්ගේ සිරුරු පිළිබද අවසන් කටයුතු විටින් විට අධිකරණ නියෝග මත සිදු කෙරුණු අතර අද දිනයේ ද මිය ගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කෙරුණේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීම සදහා අධිකරණ අමාත්‍යවරයා විසින් මීට මසකට පෙර පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අතුරු වාර්තාවක් මීට සති තුනකට පමණ ඉහතදී විෂයය භාර අමාත්‍යවරයා වෙත භාර දුන්නා.