තම බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින ආණ්ඩුව රටේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අමතකකර දමා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.
රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දීප ව්‍යාප්ත දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනට එක්වීමට පෙර ඓතිහාසික සමන් දේවාලය වැඳපුදාගෙන ත්‍රිවිධ රත්නයේ සහ සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.
සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනගන බව පවසමින් කටයුතු කරන ආණ්ඩුව ඒ හරහා ද රටට කොරෝනා වෛරසය ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට ද රුවන් විජයවර්ධන මහතා චෝදනා කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් හරහා “උදයංග පොකුරකුත්” නිර්මාණය වීමේ අවදානමක් ඇති බවයි රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ.
තමන්ගේ බලය තහවුරුකර ගැනීමේ දේශපාලනය අත හැර ආණ්ඩුව මේ වසරේදී හෝ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කටයුතු කරනු දැකීම තම ප්‍රාර්ථනය බව ද ඔහු ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විජයවර්ධන මහතා, අද වන විට ආණ්ඩුව පැණි කතා සහ විවිධ මිථ්‍යාවන් සමාජය තුළ වපුරමින් කටයුතු කරන අකාරය ද පෙන්වා දුන්නා.
ආණ්ඩුව එලෙස කටයුතු කරන්නේ ආණ්ඩුවේ අසමත් බව සහ දුර්වල බව සම්බන්ධයෙන් එල්ල වී ඇති දැවැන්ත ජනතා විරෝධය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බව ද ඔහු එහිදී සඳහන් කළා.
මේ සියලු කරුණු සිදුවන අතරවාරයේ ආණ්ඩුව රටට සංවේදී ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව ද විජයවර්ධන මහතා මෙහිදී හෙළි කළා.
පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය සම්පත් විකුණා දමන බවට අභූත චෝදනා එල්ල කළ වත්මන් ආණ්ඩුවේ සිටි කණ්ඩායම මේ වනවිට සිදු කරමින් ඇත්තේ එම අභූත චෝදනාවන් යථාර්තයක් බවට පත් කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.
කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේ ක්‍රිඩාංගණය විකුණා දැමීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් රුවන් විජයවර්ධන මහතා මෙහිදී පවසා සිටියා.
ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින්, රවටමින් සහ මර්ධනකාරී ලෙස කටයුතු කරමින් යන ආණ්ඩුව පරාජය කිරීම සඳහා ආණ්ඩුවට එරෙහි සියලු බලවේග ඒකරාශීකර ගැනීමට පියවර ගන්නා බවයි රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ.