News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණවලට නව හෝඩුවාවන්

2366 Views


නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණවලට නව හෝඩුවාවන්

මසකට පමණ ඉහතදී රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත ජිනවංශ හිමිනමගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශනය කරන කණ්ඩායම්වලට නව හෝඩුවාවන් කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා.

ජිනවංශ හිමියන් පරිහරණය කළ දුරකතන සිම්පත් හා මෙමරි කාර්ඩ්පත් ඇසුරින් ද සාක්ෂි කිහිපයක් ලැබී ඇති බවයි එම කණ්ඩායම් පවසන්නේ.

මළ සිරුර දියේ පාවෙමින් තිබී හමුවන අවස්ථාවේ භික්ෂුවගේ දකුණු කකුලට කම්බියකින් බැඳ ඇති කොන්ක්‍රීට් කුට්ටියක් සොයා ගත්ත ද වම් කකුලේ නයිලෝන් කඹයක් මිස එයට කිසිවක් සම්බන්ධ වී නැති බව අදාළ පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වී තිබෙනවා.

ඔවුන්ගේ සැකය වූයේ එකී අසම්බන්ධිත නූලේ තවත් ගලක් ගැට ගැසී තිබෙන්නට ඇති බවත් කිසියම් හේතුවකින් එය දිය යටදී ලිහීයාම නිසා සිරුර ඉන් මිදී දිය මත පාවෙන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි.

ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම දකුණු කකුලේ ගැට ගසා තිබූ කොන්ක්‍රීට් ගලට සමාන වෙනත් කොන්ක්‍රීට් ගලක් ජලාශයේ පතුල තුළ රැඳී ඇත්දැයි කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂාකර තිබුණා.

ඒ, ඒ ඔස්සේ ගල් දෙක ගැට ගසා හිමියන් කලපුවෙහි ගිල් වූ ස්ථානය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලබා ගන්නට හැකියාව ලැබීම හේතුවෙන්.

එහෙත් දින කිහිපයක සිට සිදු කළ විමර්ශනවලින් එවැනි ගලක් සොයා ගැනීමට හැකි වී නැහැ.

කලපුවේ සෝදිසි මෙහෙයුම සඳහා දිය යටදී කැමරා දෙකක් ද භාවිතාකර තිබෙනවා.

කෙසේ වෙතත් කලපු ගං දෑල විමර්ශනය කරන අතරතුර එක්තරා ස්ථානයක ගොඩබිමෙහි එකී ගලට සමාන තවත් ගලක් හමු වී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් පවසනවා.

එම ස්ථානය පිළිබඳ සැකයක් පවතින අතර අදාළ පෙදෙසෙහි පදිංචි බව පැවසෙන, හිමියන් සමග ගැටලු ඇතිකර ගත් වැලිගොඩ දමන්නන් පිළිබද මින් පෙර විමර්ශනයක් ද ආරම්භ කෙරුණා.

පොලිසිය පෙන්වා දෙන ආකාරයට පූජ්‍ය ජිනවංශ හිමියන් අවසන් වරට දුටු අයගේ සාක්ෂි හමුවන්නේ දෙසැම්බර් 7 වැනි සඳුදා උදෑසන කුමාරකන්ද ප්‍රදේශයේදීයි.

59 වියැති ජිනවංශ හිමියන් පීන්ඩපාතයේ වඩින ආකාරය අසල සිල්ලර වෙළඳසැලක සී.සී.ටී.වී. කැමරාවක ද පටිගත වී තිබුණා.

බෝට්ටුවකින් විවිධ ස්ථානවලට දානය ලබා ගැනීම සඳහා වැඩම කළ භික්ෂුව අපවත්වන්නේ ඉන් දිනකට පසුවයි.

හිමියන් අපවත් වූ බවට සැක කෙරෙන ඉකුත් 8 වැනිදා උදෑසන පිණ්ඩපාතය සඳහා හිමියන් වැඩම කළ බවට සාක්ෂි ලැබී නොතිබූ අතර හිමි නමගේ පාත්තරය කාමරයේ තිබී සොයා ගැනුණා.

කිසියම් අයෙකු හිමියන් වැඩසිටි දූපතට ගොස් ඝාතනය සිදු කළේ ද යන සැකය පැනනැගුණ මුත් පෙර කී කොන්ක්‍රීට් ගල හමු වූ ස්ථානය සැළකීමේදී එය හිමියන්ගේ දූපත් කුටියෙන් වෙනත් ස්ථානයක පිහිටා ඇති බවයි පැවසුණේ‍.

කුටිය පරීක්ෂා කළ පොලිසියට භික්ෂුවගේ කුටියේ සිම් කාඩ්පතක් සහ මෙමරි කාඩ්පත් 9ක් මෙන්ම කුඩා ජංගම දුරකථනයක් සොයා ගැනීමට හැකි වුණා.

ඒවා පරීක්ෂාකර බැලීමේදී අදාළ මෙමරි කාඩ්පත් තුළ තිබූ ඡායාරූප කිහිපයක් ද පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම හිමියන් පරිහරණය කළ කටහඩ පටිගත කරන යන්ත්‍රයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ද පොලිසිය භාරයට ගෙන තිබුණා.

පොල්ගස්දූව දූපත සහ ඒ අසල පිහිටි පරප්පුදුව දූපත වෙත පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමුව ඇති අතර එහි පරීක්ෂණ කටයුතු සදහා පොලිස් සුනඛයන් ද යොදා ගෙන ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post