News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ පරාජය

457 Views


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ පරාජය

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

මෙම තරගය දින තුනක් තුළ අවසන් වූ අතර තරග 2-0ක තරගාවලි පරාජයක් වැලද ගැනීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 67ක පහසු ඉලක්කය එක කඩුල්ලක් හෝ නොදැවී සම්පුර්ණකර ගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.

කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ඒඩියන් මාක්රම් ලකුණු 36ක් හා ඩීන් එල්ගා ලකුණු 31ක් රැස්කිරීමට සමත් වුණා.

දිමුත් කරුණාරත්න හැර සෙසු පිතිකරුවන්ගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී ද රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 211ක් පමණයි.

එහිදී ආරම්භක පිතිකරු නායක දිමුත් පන්දු 128කදී ලකුණු  103ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36ක් හා ළහිරු තිරිමාන්න ලකුණු 31ක් රැස් කරමින් සැළකිය යුතු දායකත්වයක් කණ්ඩායමට ලබා දුන්න ද, සෙසු පිතිකරුවන් සියල්ල අසාර්ථක වූණා.

එහිදී තරගාවලිය තුළ තරමක සාර්ථකත්වයක් පෙන් වූ කුසල් ජනිත්ගේ ඉනිම එක් ලකුණකට සීමා වූ අතර, කුසල් මෙන්ඩිස් මෙවර ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුණා.

මෙම තරගාවලියේ කුසල් ලකුණු නොලබා අඛණ්ඩව දැවී ගිය තෙවැනි අවස්ථාව මෙය වූ අතර, ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු නොලබා දැවී ගිය 11වැනි අවස්ථාව ද මෙයයි.

මීට අමතරව කුළුදුල් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිනෝද් භානුක ද එක් ලකුණකට සීමා වද්දී දසුන් ශානක රැස් කළේ ලකුණු 8ක් පමණයි.

තෙවැනි දිනට ඊයේ තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු 150/4ක් රැස්කර ගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනගමින් සිටියා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 5ක් ඉදිරියෙන් ද පසු වුණා.

එහිදී ඉනිම ගොඩනැගීම සඳහා තනිව සටනක් ලබා දෙමින් කඩුල්ලේ රැදී සිටි දිමුත්, ලකුණු 91ක් රැස්කර ගෙන සිටිය ද, ඔහුට තවදුරටත් සිය ඉනිම දීර්ඝ කිරීමට හැකි වූයේ තවත් ලකුණු 12කින් පමණයි.

සිය 10වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත්, දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර ඒ සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව 5/176ක් ලෙස සටහන් වුණා.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඉනිමට එක් වූයේ තවත් ලකුණු 35ක් පමණයි.

සමස්ත ශ්‍රී ලංකා ඉනිම දකුණු අප්‍රිකානු ග්‍රහණයට නතු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි වූයේ ලකුණු 67ක ඉලක්කයක් පමණයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ ලුන්ගි න්ගිඩ් කඩුලු 4ක් දවාගත් අතර, ලුතෝ සිපම්ලා කඩුලු 3කින් දායක වුණා.

ජොහැන්නස්බර්ග්හිදී පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ  ලකුණු 157ක් පමණයි.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු  ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 302ක් රැස්කිරීමට සමත් වුණා.

තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ, ඩීන් එල්ගා යි.


News Articles
Latest Videos
Most Popular Post