හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රාමනායක මහතාව වරදකරු කරමින්.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා කියා සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ලකර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවා.
2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළා.
අදාළ කාරණාව සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව අදාළ චෝදනා ඉදිරිපත්කර තිබුණා.