කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන 21 වැනිදා දක්වා වන පාර්ලිමේන්තු සතියේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.
මේ අතර පසුගිය 13 සහ 15 යන දිනවලදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ පී.සී.ආර්. පරීක්ෂණවලින් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට අයත් 9 දෙනෙකු අාසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.
පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙක්, ආරක්ෂක අංශයට අයත් අයෙක් සහ පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ කටයුතු සඳහා අනුයුක්ත තිදෙනෙකු වශයෙන් 9 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක්, පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය, පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ මෙන්ම ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකු වශයෙන් 943 දෙනෙකු අදාළ පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
පාර්ලිමේන්තුව නිවේදනය කළේ ඔවුන් අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවයි.
ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ආ ගිය ස්ථාන සහ ඔවුන්ගේ සමීපතමයින් හඳුනා ගැනීමට CCTV දර්ශන උපයෝගී කරගන්නා බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා.
එමෙන්ම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවස්ථා කිහිපයකදී විෂබීජානුහරණය කළ බවත් ආසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් සහ සමීප ආශ්‍රිතයින් සේවය කළ ස්ථාන නැවත විෂබීජහරණයට ලක් කරන බවත්, පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ කිසිඳු කාර්යාලයක් වසා දමා නොමැති බවත් වේත්‍රධාරීවරයා වැඩිදුරටත් කියා සිටියා.