News Line| Off Air
Generic placeholder image

Jan
31

පානදුර ඝාතනයේ තොරතුරු හෙළි වෙයි

971 Views


පානදුර ඝාතනයේ තොරතුරු හෙළි වෙයි

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගියදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තොරතුරු රැසක් හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

වැලිකඩ බන්ධනාගාර භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සුද්දා’ නමැත්තා අදාළ ඝාතනයේ සැළසුම මෙහෙයවනු ලැබ ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය, පතරොම් 17ක් සහ මැගසිනයක් ඉකුත් 28 වැනිදා පොලිසිය සොයා ගත්තේ පානදුර – එළුවිල, වඳුරාමුල පොදු සුසානභූමියේ දිරා ගිය ලී කොටයක් තුළ සඟවා තිබියදීයි.

අදාළ ගිනි අවිය සහ පතරොම් සොයා ගන්නා විට ඒවායෙහි ග්‍රීස් තවරා කළු ඉටි උරයක බහා සඟවා තිබූ බවයි පොලිසිය පැවසුවේ.

බන්ධනාගාර භාරයේ සිටින සුද්දා නැමැත්තා දුන් කොන්ත්‍රාත්තුවක් මත පානදුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු එම ඝාතනය සිදු කරන ලද බවට මේ වනවිට තොරතුරු හෙළි වී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉදිරි පැය කිහිපය තුළ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර වීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග පැවසුවා.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය බොල්ගොඩ, ඌරාකඩුව ප්‍රදේශයෙන් ගඟට දමා ඇති බවට තොරතුරු හෙළි වීමත් සමග අදාළ යතුර‍ෙපැදිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් හා කිමිඳුම් කණ්ඩායම් ඊයේ පස්වරුවේ සිට මෙහෙයුම්වල නිරතව සිටිනවා.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන ‘චතු’ නැමැත්තා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසුව ඊයේ මුදාහැර තිබුණා.

ඝාතනය සිදු කළ පුද්ගලයින් දෙදෙනාට ඝාතනයට පෙර ගල්කිස්ස නිවසක දින පහක් නවාතැන් දුන් සැකකරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වුණේ වලාන, ගැමුණු මාවතේ පදිංචිව සිටි 33 හැවිරිදි දෙදරු පියෙක්.


News Articles
Latest Videos
Most Popular Post