News Line| Off Air
Generic placeholder image

Feb
2

සාරධර්ම පොත කඩිනමින් මුද්‍රණයට පියවර

395 Views


සාරධර්ම පොත කඩිනමින් මුද්‍රණයට පියවර

මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය සඳහා සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ආගමික මණ්ඩලවලට සාමාජිකයින් පත් කිරීම අතිශයින් ම කාලෝචිත ක්‍රියාවක් විදියටයි මා දකින්නේ. අංග සම්පූර්ණ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදීමට තමයි අපේ අමාත්‍යංශයේ ප්‍රම්‍රඛතම කාර්යය විදියට අපි සලකන්නේ. ඒ ඒ විෂයයන් පිළිබඳව දැනුමක් ලබා දීලා ඒ සුදුසුකම ලබා ගැනීමට අවශ්‍ය වැඩපිවෙළක් සැකසීම පමණක් නොවෙයි අධ්‍යාපනය කියන්නෙ. මේ ක්‍රමය තුළින් නිර්මාණය වන අය දැනුමින් පොහොසත් නමුත් සාරධර්මවලින් දුප්පත්නම් ඉන් සමාජයට ප්‍රයෝජනයක් නැහැ. අපි අදටත් ජනමාධ්‍ය තුළින් දකිනවා තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලනවා. මරණීය දණ්ඩනයට පවා ඒ අය යටත් කරනවා. ඇතැම් අය පවසනවා මරණීය දණ්ඩනය සුදුසුයි කියලා. නමුත් ඒ පියවර ගැනීමෙන් පමණක් මේ ගැටලුවට විසඳුමක් නැහැ. අපරාධ කරන අය හිතනවා තමන් කරන දෙය අහුවෙන එකක් නැහැ කියලා. ‘Discovery of India’ පොත ලියමින් හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මැතිතුමා පැවසූයේ ‘නීතියෙන් කළ හැකි දේ සීමිත යි. අවසානයේ දී යමෙක් හොඳ හැසිරීමට අවතිර්ණ වන්නේ නීතියට බියේ නොව ඇතුළාන්තයෙන් ජනිතවන හැඟීම් කියල මා කියනවා’ යනුවෙනි.

හැදෙන වැඩෙන දරුවන්ට නම්‍යශීලී මනසක් තිබිය යුතුයි. ඒ දරුවන්ට පාසලේ අධ්‍යාපනය සපයා දීමේ දී ව්‍යුහයන් තුළින් තමයි එය ලබා දිය යුත්තේ. ඒ නිසා තමයි ආගමික අධ්‍යාපනය වැදගත් වන්නේ. දහම්පාසල් ගියත් විෂය දැනුම පමණක් ලබා ගැනීමෙන් සෑහීමකට පත් වෙන්නට බැහැ. තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගැනීම තමයි වැදගත් ම.

අපි දන්නවා භාෂා ගණනාවක් කථා කරන, ආගම් ගණනාවක් අදහන පිරිසක් අපේ රටේ ඉන්නේ. ඔවුන් අතර සුහදත්වය සුරක්ෂිත කරගැනීම සඳහා අධ්‍යාපනයට තිබෙන්නේ ප්‍රමුඛතම කාර්යභාර්යයක්. විශ්වවිද්‍යාලයට යාමට පළමුව ඒ දරුවන්ගේ නම්‍යශීලී මනස අධ්‍යාපනය තුළින් පැහැදිලි කළ යුතු යි. අපේ අමාත්‍යංශයට ඒ සඳහා සුවිශේෂී වගකීමක් තිබෙනවා. එය නිවැරදිව සහ කාර්යක්ෂම ව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා.

අපි දන්නවා ඕනෑම සමාජයක අන්තවාදීන් ඉන්නවා. ඒවා සමනය කරලා, තුලනය කරලා සමාජය තුළ ස්ථාපිත කිරීමේ ප්‍රබල යාන්ත්‍රණය වෙන කිසිවක් නොවෙයි අධ්‍යාපනය යි. මේ පවතින හිඩැස පිරවීමට අපට හැකියාව තිබෙනවා.

මේ ආගමික මණ්ඩල පත් කිරීමෙන්, සාරධර්ම පොත දරුවන්ට ලබා දීමෙන් ඉහත හිඩැස පුරවන්නට අපිට පුළුවන් වෙනවා. ඒ නිසා අවුරුදු 05ක් තිස්සේ දිනෙන් දින කල් ගිය ‘සාරධර්ම පොත’ ඉක්මනින් ම දරුවන්ගේ අතට පත් කිරීමට කටයුතු කරනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, හින්දු, ඉස්ලාම්, කතෝලික , ක්‍රිස්තියානි පූජකවරු, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.


News Articles
Latest Videos
Most Popular Post