News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
4

අභිමානවත් 73 වැනි ජාතික නිදහස් දිනය අදයි

857 Views


අභිමානවත් 73 වැනි ජාතික නිදහස් දිනය අදයි

15 වැනි සියවසේ සිදු වූ යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153ක කාලයක් ඔවුන්ගේ පාලනයට නතුව සිටි අප රට බටහිර යටත් විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 වසරේ පෙබරවාරි මස 4 වැනිදා, එනම් අද වන් දිනකදීයි.

සියවස් ගණනාවක් මෙරට රාජ්‍යත්වය කේන්ද්‍රකර ගනිමින් සුසැඳි පාලන තන්ත්‍රයකින් හෙබි ශ්‍රී ලංකාව බටහිර යටත්විජිතකරණයෙන් පසු දැවැන්ත පරිවර්තනීය වෙනසකට භාජනය වුණා.

වසර 1505දී පෘතුගීසි දේශාටක ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසින් කණ්ඩායමක් පළමුවරට මෙරටට පැමිණියේ මෙරට අභ්‍යන්තර අසමඟිය පවතින කාල වකවානුවකදීයි.

මෙම අභ්‍යන්තර අසමගියේ වාසිය තමන් සතුකර ගත් පෘතුගීසින් මෙරට බලය සියතට නතුකර ගැනීමට කටයුතු කළා.

ඉන් අනතුරුව 1518 වසරේදී කොළඹ නගර මධ්‍යයේ බලකොටුවක් තනා මෙරට බලය තහවුරුකර ගැනීමට ඔවුන් සමත් වුණා.

පෘතුගීසින් මෙරට මුහුදුකරය පුරා සුක්ෂම ලෙස තම බලය ව්‍යාප්තකර සිටියදී යුරෝපයෙන්ම පැමිණි ඕලන්ද ජාතිකයින් විසින් පෘතුගීසින් පරදා 1658 වසරේදී තම බලය තහවුරුකර ගැනීමත් සමඟ වසර 138ක අප රට පාලනය පෘතුගීසින් සහ ඕලන්ද ජාතිකයින් සතු වුණා.

ඉන් අනතුරුව ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමඟ මෙරට පාලනයට සහ නිදහසට විශාලතම බලපෑමක් සිදු වුණේ 1796 වසරේදීයි.

1815 කන්ද උඩරට සහ සමස්ත ශ්‍රී ලංකාවම ඉංග්‍රීසින් යටත්කර ගැනීමෙන් අනතුරුව වසර 2357ක් පැවති ස්වදේශීය රාජ්‍ය පාලන තන්ත්‍රය ද මෙරට තුළ මුළුමනින්ම බටහිරකරණයට ලක් වුණා.

1818 වර්ෂයේදී මොනරවිල කැප්පෙටිපොළ දිසාවේගේ නායකත්වයෙන් යුතුව ඌව වෙල්ලස්ස කැරැල්ල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිෙව නිදහස වෙනුවෙන් පළමු අරගලය ලෙස ඉතිහාසගත වූ බව සඳහන්.

ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයන්ගෙන් මෙරට නිදහස්කර ගැනීම උදෙසා පැවති නොයෙක් අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේ පෙබරවාරි මස 4 වැනිදා ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණා.

පසුව එලෙස දිනාගත් නිදහස සැමරීමේ නිල උත්සවය පෙබරවාරි මස 10 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරුණු බව ඉතිහාසයේ සඳහන්.

එමෙන්ම 2009 වසරේදී ශ්‍රී ලංකාවට නැවතත් නිදහස හිමි වුණේ, වසර 30කට අධික කාලයක් ජීවිත දහස් ගණනක් බිලි ගනිමින් මෙරට පැවති ත්‍රස්තවාදය නිම වීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකා මාතාව යටත් විජිතවාදය මෙන්ම ත්‍රස්තවාදය ද පරදවමින් ලබා ගත් උත්තරීතර නිදහසේ 73 වැනි සැමරුම ද අද දිනයේ සිහිපත් කරන්නේ රටක් වශයෙන් වසර ගණනාවක් පුරාවට සිදු වූ ජිවිත පරිත්‍යාගයන් මෙන්ම පරහිතකාමිත්වයෙන් සිදු කළ සියලු දේශ හිතෛෂීන් කෘතවේදීව සිහිපත් කරමින්.


News Articles
Latest Videos
Most Popular Post