අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කරන ලද ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ දී අද (17) ඇපකරුවන් විසින් සපුරනු ලැබුවා.
ශානි අබේසේකර මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත්, සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුව මුදා හරින ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාටත් ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා අද නියම කළා.
අභියාචනාධිකරණ විනිසුරුවන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ රත්නප්‍රිය ගුරුසිංහ මහතා සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රුපියල්
25000 ක් බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට ඊයේ නියම කර තිබුණා.
එම මුදල් සහ ශරීර ඇප යන්ට අමතරව සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර තිබුණා.
ඒ අනුව ශානි අබේසේකර ගේ ඇපකරුවන් ලෙස ශානි අබේසේකරගේ සොහොයුරන් දෙදෙනකු ගම්පහ මහාධිකරණය හමුවේ ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කළ අතර සුගත් මෝහන මෙන්ඩිස් ගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ බිරිඳ සහ පුතා ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කරනු ලැබුවා.
සැකකරුවන් දෙදෙනා ගේ ගුවන් ගමන් බලපත් ගම්පහ මහාධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබු අතර ගම්පහ මහාධිකරණයේ අවසරයක් නොමැතිව සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරුණා.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීමේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත මාස දහයකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි බවට මහාධිකරණයේදී අනාවරණය වුවා.