ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ.
1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි.
ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම්වල පුරවැසි කණ්ඩායම් විසින් තෙත් බිම්වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ.
මෙවර ලෝක තෙත් බිම් දිනය ”Wetlands and water –තෙත්බිම් හා ජලය ” යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලැබේ.
සීමිත සම්පතක් වන ජල සුරක්ෂිතතාව සඳහා තෙත්බිම්වලින් සිදුවන අනගි මෙහෙය සිහිපත් කරමින්, තෙත්බිම්, ජලය හා අපේ ජීවිත අත්‍යන්තයෙන් එකට බැඳුණු, වෙන් කළ නොහැකි සොබා දහමේ ධර්මතාවක් බවත්, තෙත්බිම් ඇතුළු පරිසර පද්ධති හා ජල සම්පත සුරකිමින් සොබාදහමට අනුගත මානව ක්‍රියාකාරිත්වයකට යාමේ වැදගත්කමත් මෙවර තේමාව මගින් අවධාරණය කරයි.
තෙත් බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ, තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහායි.

ස්වාභාවදහමේ පැවැත්මටසේම මිනිසාගේ සමාජ හා ආර්ථික සන්වර්ධනටත් විවිධ සේවා සපයමින් අනගි කාර්ය භාරයක් තෙත් බිම් මගින් ඉටු වේ. ප්‍රධාන වශයෙන් බත් ආහාරයට ගන්න බිලියන 3.5 ක ලෝක ජනතාවගේ පෝෂණය සඳහා බත සැපයෙන වී නිෂ්පාදනයට පදනම සපයන්නේ තෙත් බිම් පරිසර පද්ධතියක් වන කුඹුරු වේ.
සමහර තෙත් බිම් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තවීමත්, භූ දර්ශනියභාවයත්, පක්ෂි, උරඟ, ක්ෂීරපායි, මත්ස්‍ය, කෘමින් වැනි කාණ්ඩවලට හා ඒක දේශික සත්ව හා ශාක විශේෂ බහුලවීමත් හේතුකොටගෙන තෙත් බිම් පරිසර පද්ධති සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වේ.
ශ්‍රී ලංකාව ලෝක තෙත් බිම් දිනය සැමරීමේ දී අභාමනයකින් යුතුව සැමරිය හැකි පුරවැසියන් බවට පත්ව සිටියි. ඒ 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සාර් සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතුවෙනි.
මෙරට තෙත් බිම් 6ක් රැම්සාර් තෙත් බිම් ලෙස නම්කර ඇත. එනම්,
බුන්දල ජාතික උද්‍යානය
ආනවිලුන්දාව අභය භුමිය
මාදු ගඟ අභය භුමිය
වාන්තලේ අභය භුමිය
කුමන ජාතික උද්‍යානය
විල්පත්තු ජාතික උද්‍යානය
මෙම තෙත් බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

ලෝකයේ විශේෂ ( words species ) වලින් 40% ජීවත්වන්නේ තෙත්බිම්වලය. මිරිදිය තෙත්බිම්වලින් වාර්ෂිකව නව මත්ස්‍ය විශේෂ 200ක් පමණ සොයාගනු ලබයි.
තෙත්බිම් ආශ්‍රිතව සැලසුමකින් තොරව සිදුකරන විවිධ ඉදිකිරීම්, ගොඩකිරීම් මෙන්ම අපද්‍රව්‍ය, අපජලය, පොලිතීන්, ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ගොඩනැගිලි කඩා ඉවත් කරන සුන්බුන් බැහැර කිරීම, අනවසර ගිනි තැබීම්, කඩොලාන විනාශ වීම, අධික ලෙස වැලි ගොඩදැමීම තෙත් බිම් විනාශයට හේතු වී ඇත. එසේ පරිසරයට හානි කරන ක්‍රියාමාර්ගවලින් වැලකි සිටීම අප හැමදෙනාගේම වගකීමයි.