News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

මිනිසා බිහිවීමටත් පෙර පෘතුවියෙහි රජ කළ දැවැන්තයා

1545 Views


මිනිසා බිහිවීමටත් පෙර පෘතුවියෙහි රජ කළ දැවැන්තයා

ලොව පහළ වූ දරුණුතම විලෝපියයා ලෙස හැඳින්වෙන ජුරාසික යුගයේ විසු T-Rex ඩයිනොසරයාට පෙර කිඹුලා පෘතුවියෙහි රජ කරන්නට ඇති බව නවතම විද්‍යාත්මක සොයා ගැනීම් අනාවරණය කරයි. මේ අනුව කිඹුලාට මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසා බිහිවීමට වසර මිලියන 200කට පමණ පෙර සිට ය. ඩයිනෝසරයන් පමණක් නොව ඊට පසුව බිහි වූ බොහෝ සත්ත්ව ප්‍රභේද පවා මිහිමතින් තුරන් වෙත් දී කිඹුලා පාරිසරික සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වෙමින් මේ සා විශාල කාලයක්  පැවත එන සජීවී පොසිලයක් ලෙස ලෝකයට වටිනා සත්ත්වයෙක් බව කිව යුතු ය.

කිඹුලන් පිළිබඳ මේ දිනවල අප රටේ බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක් වුවත් කොළඹ නගරයේ කිඹුලන් ගැන සඳහන් වන්නේ 16 වන ශතවර්ශයේ දී ය. අදටත් කයිමන් දොරකඩ නමින් හඳුන්වන කොළඹ හෙට්ටිවිදිය ආසන්නයේ ඇති ප්‍රදේශය කිඹුලන් ගහන ආරක්ෂක ඇලකින් වට වූ කොළඹ කොටුවට පිවිසෙන දොරටුව විය. මෙහි කයිමන් යනු එවකට පෘතුගීසි බසින් කිඹුලා හැඳින් වූ නාමයයි. වර්තමානයේ ද කේමන් හෝ කයිමන් යනුවෙන් හැඳින්වෙන කිඹුල් විශේෂයක් මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සිටින බවට තොරතුරු තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කිඹුලන් ගහනයක් පවතී. පී. පී. දැරණියගල මහතා එක් කළ නිදර්ශක ජාතික කෟතුකාගාරයේ 40කට අධික ප්‍රමාණයක් තිබේ. ඒවාගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් කොළඹ මීරිගම බොල්ගොඩ සහ ඒ ආසන්න ප්‍රදේශවලින් එක් කරන ලද තොරතුරුයි. ඉන් පැහැදිළි වනුයේ වර්තමානයේ කොළඹ තදාසන්න ප්‍රදේශවල කිඹුලන් හිඟ වුවත් අතීතයේ කිඹුල් ගණත්වයක් තිබූ බවයි.

කිඹුලා යනු, මාංශ භක්ෂක ජලජ උරගයෙක් ලෙස හැඳින්විය හැකියි. කිඹුලන් නිවර්තන සහ උපනිවර්තන දේශගුණික ප්‍රදේශවල ජීවත් වේ. කිඹුලන් ලෝකයේ මහද්වීප 04ක ජීවත් වේ. කිඹුලෙකුගේ ජීවිතයේ වැඩි කාලයක් ගතකරනු ලබන්නේ ජලයේ ය. ඔවුන් උණුසුම් මඩ සහිත පොකුණු, සෙමින් ගලා යන ගංගා, විල්, මඩ වගුරුවලට කැමැත්තක් දක්වයි. කිඹුලන්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 100 දක්වා ළඟා වේ.

ලෝකයේ කිඹුල් විශේෂ 24ක්  පමණ වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ එම විශේෂවලින් විශේෂ දෙකක් පමණක් හඳුනා ගත හැකියි. එහෙත් ලංකාවේ වසර ගණනාවකට පෙර තවත් විශේෂ සිටි බවට තොරතුරු ඇතත් වර්තමානයේ එම කිඹුල් විශේෂ වඳ වී ගොස් ඇති බවට සලකනු ලැබේ. කිඹුල් පවුල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

1.ඇලිගේට්

2.සත්‍ය කිඹුලන්

සත්‍ය කිඹුලන් ලංකාවේ ජීවත් වේ. ඇලිගේට් කිඹුලන් උතුරු අමෙරිකාවේ සහ චීනයේ පමණක් වාසය කරන අතර ඔවුන් යම් කිසි ප්‍රදේශයකට සීමා වේ. සත්‍ය කිඹුලන්ට සුවිශේෂී ග්‍රන්ථියක් එසේත් නැත්නම් පද්ධතියක් පිහිටා තිබේ. මෙම ග්‍රන්ථිය ලුණු ග්‍රන්ථි ලෙස හඳුන්වනු ලැබේ. ලුණු ග්‍රන්ථි මඟින් කිඹුලන්ට ලවණ ජලයේ ජීවත් වීමට පහසු කරනු ලැබේ. කිඹුලාගේ මුළු ශරීරයම කෙරිටන්වලින් ආවරණය වී පවතින නිසා ලවණ ජලය කිඹුලාගේ ශරීරගත වීම සිඳු වන්නේ මුඛය හරහා පමණි. කිඹුලන්ට මුඛය හරහා ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ලුණු වතුරේ කැලසියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් දිව හරහා ලුණු ග්‍රන්ථි මඟින් ඉතා කෙටි කාලයක දී ඉවතට දැමිය හැකි ය.

උරග හා උභයජීවී පදනමේ සභාපති මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතාට අනුව මෙරට කිඹුල් වර්ග දෙකකි.

Marsh crocodile (Crocodylus palustris) හෙවත් ගැට කිඹුලා

Saltwater or Estuarine crocodile (Crocodylus porosus) හෙවත් හැල කිඹුලා

කිඹුල් විශේෂ දෙකෙහි ලෝක තත්වය හා ලංකාවේ තත්වය අතර පරස්පරයක් පවති. වෙනත් රටවල ගැට කිඹුලාන් ඉතා අඩු ප්‍රමාණයක් ඇති අතර හැල කිඹුලන් බහුල වේ. නමුත් ලංකාවේ ගැට කිඹුලන් බහුල අතර හැල කිඹුලන් අඩු ය. කිඹුලන් ගේ අපිචර්මීය කොරපොතු තල ආකාර ව්‍යුහයක් ලෙස පරිවර්තනය වී ඇත(scutes). ඉහල පෙදෙස (dorsal) අස්ථි සමග සම්බන්ධ වී osteoderms (අස්ථි හා සම) නම් ව්‍යුහයක් සකස් වී ඇත.

ලෝකයේ විශාලතම උරගයා ලෙස ගැට කිඹුලා පිළිගනී. ලංකාවේ එතරම් විශාල කිඹුලන් දැක ගැනීමට නොහැකි වුවත් ඉන්දියාවේ බ්‍රහ්මපුත්ත වැනි ප්‍රදේශවල විශාල ගැට කිඹුලන් දැක ගත හැකි අතර සාමාන්‍යයෙන් දළ වශයෙන් අඩි 20ට වැඩියි. ගැට කිඹුලා ශ්‍රී ලංකාව පුරා ඇති ජල දේහ පැතිරී ඇති අතර පැවැත්ම ආරක්ශිත බව විශ්වාස කරයි. ගැට කිඹුලන්ගෙන් විශාලම සතුන් අඩි 18 ත් 20 ත් අතර දිගකින් යුක්ත ය. ගැට කිඹුලාගේ නිජබිම වන්නේ තෙත් කලාපයයි. ගැට කිඹුලා ගංඟා ,වැව් ආදී අභ්‍යන්තර ජලජ පද්ධතිවල හමුවේ. මෙම වර්ග දෙකම එකම වාසස්ථානයේ හමු වූ අවස්ථා ඇතත් දැන් එම වාසස්ථාන විනාශ වී ඇත. ඉතා සුලු ස්ථාන කීපයක මොවුන් එකට වාසය කරනු ලබයි. ගැට කිඹුලාගේ dorsal osteoderms ව්‍යුහය චතුරස්‍රාකාර වන අතර තිර්යක් පේලී ලෙස සකස් වී ඇත. හොම්බ හැල කිඹුලාට සාපේක්ශව කෙටි සහ පළල්ය.

ගැට කිඹුලාගේ බඩ පෙදෙස අඳුරු ඔලිව් කොල පැහැයේ සිට අඳුරු දුඹුරු පැහැය අතර වර්ණයෙන් යුක්තය. ගැට කිඹුලාගේ කහ පැහැ තිත් දැකිය හැකි ය. ගැට කිඹුලා මෘදු වැලි සහිත පසේ හා දිරාපත් වන කොලරොඩු මත බිත්තර දැමීම සිදුකරයි. ගැට කිඹුලා වයස 6-8 දී ප්‍රජනනය ආරම්භ කරන අතර ගං ඉවුරේ හා වැව් ඉවුරුවල බිත්තර දමයි. ගැට කිඹුලා අවුරුද්දකට වරක් පැටව් දමයි. නමුත් කිඹුල් ගොවිපලවල ගැට කිඹුලන් අවුරුද්දට දෙවරක් පැටව් දැමු අවස්ථා ඇත.

ගැට කිඹුල් විශේෂයට සාගර පරිසරවල ජීවත්විය හැකි ය. එහෙත් සාමාන්‍යයෙන් ගැට කිඹුලන්  දකින්නට ලැබෙන්නේ කරදිය සහ ලවණ මිශ්‍ර වූ ජලය සහිත කඩොලාන, මෝය කට, ඩෙල්ටා, කළපු සහ ගංගාවල සාගරයට යාබද ප්‍රදේශවල ය. ගැට කිඹුලන්ගේ  ව්‍යාප්තිය දකුණු ආසියාවේ සිට උතුරු ඕස්ට්‍රේලියාවෙහි නැගෙනහිර වෙරළ තීරය දක්වා විශාල බිම් තීරයක් පුරා පැතිර පවතියි. උන් තම ආධිපත්‍ය සහිත ප්‍රදේශයට ඇතුළු වන මිනිසා ඇතුළු ඕනෑම සතෙකු හදිසියේ පහර දී අඩපණ කර තම ආහාරය සඳහා ගොදුරු කරගනියි. ලොවපුරා වසරකට දහසකට වැඩි මිනිසුන් පිරිසක් ගැට කිඹුලාගේ ගොදුරු බවට පත්වෙයි. ගැට කිඹුලන්ගේ විද්‍යාත්මක කියවීම එම සත්ත්වයා මිනිසා ගොදුරක් ලෙස දකී. එහෙත් කිසි විටෙක මිනිසුන් පසු පස එළවා ගොස් මිනිසුන් පමණක් ආහාරයට ගෙන ජීවත් වන සතෙකු නොවේ. එහෙත් හැල කිඹුලා මනුශ්‍යයන්ට හානි කරන ලද අවස්ථා වාර්තා වීම් නොමැති තරම් ය.

වර්තමානයේ හැල කිඹුලාගේ පැවැත්මට යම් බලපෑමක් ඇත. මේ වන විටත් හැල කිඹුලා සමහර වාසස්ථානවලින් සම්පූර්ණයෙන් වඳ වී ඇත. හැල කිඹුලා මධ්‍යම ප්‍රමාණයේ කිඹුල් විශේෂයක් වන අතර හැල කිඹුලා වෙරලාශ්‍රිතව වාසය කරයි. කලපු පරිසර පද්ධති, කඩොලාන, ලවන වගුරු මොවුන්ගේ වාසස්ථාන වේ. මොවුන් ගංගාවන් දිගේ ඉහලට ගමන් කර අවස්තා ද වාර්තා වී ඇත. නමුත් මොවුන් වඩා ප්‍රියකරනුයේ ලවන හෝ කලපු ජලයටයි. හැල කිඹුලාගේ osteoderms ව්‍යුහය ඕවලාකාර වේ. දිගු හොම්බක් පවතී. හැල කිඹුලා කන්දක් වැනි කූඩුවක් තනා ඒ මත බිත්තර දමයි. බොහෝ විට Lagenthera toxicaria ශාකය මේ සඳහා බාවිතා කරයි. ශාක කොටස් දිරා පත් වී ඇතිවන උෂ්ණත්වය බිත්තරවලින් පැටව් ඇති වීම උත්තේජනය කරයි. හැල කිඹුලා වයස 10-12 දී ප්‍රජනන ක්‍රියාවලිය අරඹයි.

Mugger crocodile 2.JPG

හැල කිඹුලාගේ පිරිමි සතුන් අඩි 13-16 දක්වා දිගු වන අතර ගැහැණු සතුන් ශරීර ප්‍රමාණයෙන් කුඩා ය. ඉතා පළල මුව ප්‍රදේශයක් සහ ශක්තිමත් හනු සහිත ය. හැල කිඹුලා මිනිසාට පහර දෙන්නේ කළාතුරකිනි. ඔවුන්ගේ ආහාරය කුරුල්ලන්, මසුන්, කුඩා මුවන්, වසු පැටවුන් සහ බල්ලන් බළලුන් වැනි සතුන් ය.

කිඹුලෙකුහට විනාඩි 20ක පමණ කාලයක් ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත ජලයෙහි සිටිය හැකියි. කිඹුලන්ට මුහුදේ ජීවත්විය හැකි ය. කිඹුලන්ගේ ජීවිත කාලයේ අවස්ථා කීපයක දී මුහුදේ දැකගත හැකියි. කිඹුලන්ගේ ප්‍රජනන කාලයට මෙන්ම රාත්‍රියට ගොදුරු සොයා ද මුහුදට යාම කිඹුලන් සිදු කරනු ලැබේ. මෙහි දී රාත්‍රී කාලයේ ගොදුරු සොයා මුහුදට යන කිඹුලන් නැවත පෙර සිටි ස්ථානවලට එන බව පර්යේෂණවලින් සොයා ගෙන තිබේ.

කිඹුලාට ගොදුරු වන ඕනෑම සතෙකු අඩපණ කිරීමට එම සතා වේගයෙන් කරකැවීමක සිදු කරනු ලබයි. සාමාන්‍යයෙන් කිඹුලෙකු ලබා ගන්නා ආහාරය/ගොදුර අලුත්නම් එය දෙකට තුනට කැබලි කඩා ආහාරයට ගැනීම සිදු කරනු ලබයි. කිඹුලන් දෙදෙනෙකු සිටින අවස්ථාවල දෙදෙනා විසින් ගොදුර ඇද කොටස්වලට කඩා ගැනීම සිදු කරනු ලබයි. එසේත් නැතිනම් ගොදුර නරක් වීමට හැර ආහාරයට ගැනීම සිදු කරයි.

කිඹුලන් ඉහළ මට්ටමේ විලෝපිකයන් වන අතර ප්‍රධාන අහාරය මාලුන් වේ. ජලජ පරිසර පද්ධතිවල සමතුලිතතාවයට බෙහෙවින් මොවුන් උපකාරී වන අතර ආක්‍රමණශීලි  හා විශාල මාලු විශේෂ ගහනවල වර්ධනය පාලනය කරයි. එසේ ම මියගිය මසුන් ද අනුබව කරන නිසා ජලජ පරිසර පද්ධතිය පිරිසිදුව තබාගැනීමටද උපකාරී වේ. ජලජ පරිසර පද්ධතියේ පිරිසුදු බව පෙන්වන දර්ශකයක් (Bio indicator) ලෙස කිඹුලන් බාවිත වේ. කිඹුලා කිරිමැටි ආහාරයට ගන්නා බව සමාජය තුළ පවතින මිත්‍යා මතයකි. කිඹුලාගේ ශරීරයේ ස්කන්ධයෙන් 1%ක් ගල් සඳහා වෙන් වේ. කිඹුලා මෙලෙස ගල් භාවිත කරනු ලබන්නේ ආහාර ජීර්ණය පහසු කර ගැනීමටයි. කිඹුලා තම ශරීර ස්කන්ධය වැඩිවත්ම ඒ බරට සාපේක්ෂව අලුතින් ගල් උදරයට එක් කර ගැනීම සිදු කරයි. එම ගල් ආමාශයේ තැම්පත් වීම සිදු වේ. කිඹුලා ගන්නා ආහාර ආමාශික යුෂත් සමඟ එක් වී ගල් සමඟ ඇඹරී ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදු වේ.

පරිසරයේ කිඹුලන් ගණන වැඩි වීමත් සමගම ඔවුන් අතර ආහාර සහ ආධිපත්‍ය, ප්‍රදේශ සඳහා තරගයක් ඇති වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ කිඹුලන් දැනට ජීවත්වන සීමා ඉක්මවා මිනිස් වාසය ආක්‍රමණය කිරීම ය.  උරගයකු වන කිඹුලා චලතාපී සතෙකු නිසා, උදෑසන සහ දහවල අව්ව තැපීමට බොහෝ විට ගොඩ බිමට පැමිණෙන නිසා ඔවුන් මිනිසුන් ගේ නෙත ගැටෙනවා වැඩි ය. කෙසේවෙතත් දැන් දැන් කොළඹ කිඹුලන් වැඩියෙන් දර්ශනය වන බවක් පෙනෙන්නට තිබේ.

කිඹුලන්ගෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට නම් නගර කළමණාකරණය කිරීමේ දී නාගරික වන ජීවීන් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එසේ ම කිඹුලන්ට ජීවත් විය හැකි තෙත් බිම්, වගුරු බිම් සහ ගොඩ බිම් සුරක්ෂිත කිරීම කළ යුතුයි. මිනිසුන් දැනුවත් කිරීම කළ යුතුම කාර්යයකි.


News Articles
Latest Videos
Most Popular Post