News Line| Off Air| Games
Generic placeholder image

Feb
7

ඉරණම වෙනස් වූ වන අලි

353 Views


ඉරණම වෙනස් වූ වන අලි

ශ්‍රී ලංකාව අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ රටකි. මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාවයි. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවටයි. අප මේ ගෙවා දමන සෑම දිනකම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියකු අකාලයේ මිය යයි. එසේම ගතවන සෑම සතියක ම මිනිස් ජිවිත දෙකකට වඩා අලි මිනිස් ගැටලුව හේතුවෙන් රටට අහිමි වෙයි.

වන ජීවින් හා මිනිසුන් අතර පවත්නා ගැටලුව ලංකාවේ පමණක් නොව ආසියාවේ බොහෝ රටවල්වල පවතී. එසේම ආසියාතික අලියා (Elephas Maximus) වඳවීමේ තර්ජනයට ලක්වූ සත්වයෙක් ලෙස ලෝක ස්වභාව සංරක්ෂණ සංගමය (IUCN) විසින් 2008 දී රතු දත්ත ලේඛනයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා අලියා අතර පවතින්නේ මනා වූ සම්බන්ධතාවයකි. අලියා මෙන් වෙනත් කිසිදු සතෙක් අප සංස්කෘතිය හා බද්ධ වී නොමැත. සංස්කෘතික, ඓතිහාසික, ආගමික ජන විශ්වාස, ජනශ්‍රැති මෙන්ම දේශපාලනික වශයෙන් ද ලංකාවේ අලියා ප්‍රධාන ස්ථානයක සිටියි.

අලියා හා මිනිසා අතර ගැටුම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ආරම්භ වූ අතර එහිදී අලි දහස් ගණනින් විනාශයට පත් විය. එසේම කදුකරයේ ජිවත් වූ අලින්ට ඔවුන් සිටි වාසස්ථාන අහිමි වී වියළි කලාපයට සිමා වන්නට විය.

විවිධ වාර්තා අනුව 1800 දී ලංකාවේ අලි ගණන 10,000ක් වූ අතර එය ක්‍රමයෙන් අඩු වී 2011 වසර වන විට 6000 දක්වා අඩු වී ඇති බව එම වර්ෂයේ පවත්වන ලද දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණ වාර්තා කරයි.

එසේම ගොවිජනපද ආරම්භ වීමත් සමඟ වියළි කලාපයේ ජිවත්වන අලින්ගේ වාසස්ථාන තවදුරටත් අහිමි විය. ඒ සමඟ අලි මිනිස් ගැටුම ක්‍රමයෙන් ආරම්භ වන්නට විය. ප්‍රථම වරට අලි මරණයක් වාර්තා වන්නේ 1952 දී යි. එම වර්ෂයේ දී අලි 74 දෙනෙකු මරණයට පත් වූ බව වාර්තාවල සටහන් වී ඇත.

සාමාන්‍යයෙන් වැඩුණු අලියෙකුට දිනකට අවම වශයෙන් 100kg පමණ ඝන ආහාර අවශ්‍ය වන අතර ජලය 150L ක් පමණ අවශ්‍ය වේ. වියළි කලාපයේ වන සංරක්ෂිත තුල ජිවත් වන අලින්ට අවශ්‍ය ආහාර හා ජලය රක්ෂිත ප්‍රදේශවල තිබුනද අලින්ගේ සංචරණ රටාව අනුව ඔවුන්ගේ සංචරණ මාර්ග අහුරා ගනිමින් ඉදි වී ඇති ජනාවාස හේතුවෙන් අලි මිනිස් ගැටුම ආරම්භ වී ඇත.

වර්තමානය වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අනෙක් කාරණය නම් කුණු ආහාරයට ගනිමින් දවසින් දවස මියයන වන අලි පිළිබඳවයි. සුපිරි බොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ඒ පිලිබඳ ට්විටර් පණිවිඩයක් හරහා අවධානය යොමු කර ඇත. යුරෝපීය සංගමයේ ආධාර සහිතව අම්පාර දීඝවාපිය පල්ලකාඩු ප්‍රදේශයේ දී කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ලෙස 2008 වර්ෂයේ දී ආරම්භ විය. අවට ගම් නවයකින් එකතුවන කසල මෙම ස්ථානයට රැගෙන එන නමුත් ප්‍රතිචක්‍රීකරණයක් සිදු වන්නේ නැත. 2014 වසරේ දී මෙහි සවිකර තිබූ විදුලි වැට අකුණු සැර වැදී හානියට පත්ව ඇති අතර ඒ හේතුව නිසාවෙන් වන අලින් මෙම පරිශ්‍රයට පහසුවෙන් ඇතුළු වී කුණු ආහාරයට ගන්න දර්ශනය සුලභ වේ.

පරිසර සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන්ට අනුව ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කුණු ආහාරයට ගැනීම නිසා පසුගිය වසර 08 ක කාලය තුල මරණයට පත්ව ඇති වන අලි සංඛ්‍යාව 20 කි. මිය ගිය සතුන් පරික්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ දිරාපත් නොවන පොලිතින් විශාල ප්‍රමාණයක් ගිල දමා ආහාර ජීර්ණ පද්ධතියට හානි වී එම සත්වයින් මරණයට පත්ව ඇති බවයි.

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වන සත්ව කොට්ටාසයක් වුවත් වර්තමානය වන විට ඔවුන් වඳ වීමේ තර්ජනයකට ද මුහුණ පා සිටී.

මිනිසුන්නේ අපරික්ෂාකාරී බව නිසා කැලේ තියෙන පල වැල කාලා ජිවත් වුනු සද්දන්තයින් අද වන විට නගරයේ සැරි සරන බලු කපුටන් සමඟ එකට කුණු ආහාරයට ගන්නවා දැකීම ඉතාම සෝචනීය තත්ත්වයක්. තවත් මේ කසල ගොඩ අලි රජදහනක් නොකර ඔවුන්ගේ ජිවිත බේරා ගැනීම අපගේ වගකීමයි.


News Articles
Latest Videos
Most Popular Post