News Line| Off Air| Games
Generic placeholder image

Mar
10

නැදුන්ගමුවේ රාජා

621 Views


නැදුන්ගමුවේ රාජා

අපේ රටේ අලි ඇතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුට ම අලි ඇතුන් කිහිප දෙනෙකුම සිටි බව වාර්තා වනවා. ගරු ගාම්භීරත්වය වගේම නම්බුකාරකමේත් සංකේතයක් ලෙස ඉතිහාසයේ ඉදන් ම අලි ඇතුන් හඳුන්වන්නට පුළුවන්.

විචිත‍්‍ර වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්‍යය හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැනෙනවා. අලි ඇතුන් සියයක් පමණත්, කලා ශිල්පීන් දහසකගේ පමණත් සහභාගීත්වයෙන් දින දහයක් පුරා වීදි සංචාරයේ යෙදෙන මේ පෙරහැර මංගල්‍යයට සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැහැ.

දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව සංකේතවත් කරන ‘වැඩමවන කරඬුව’ පිටෙහි තබාගෙන මහා අභිමානයෙන් පෙරහැර තුළ ගමන් කරන හස්තිරාජයා මේ පෙරහැර තුළ ඉටු කරන්නේ මහා මෙහෙවරක්.

පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. නැදුන්ගමුවේ රාජා ඒ භාග්‍ය හිමි කර ගත් ඇතෙක් ලෙස පෙන්වා දිය හැකිය.

නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න දවස් හතක් මුළුල්ලේ පයින් ම නුවර දක්වා ගමන් කරයි. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් පයින්ම එන එකම ඇතා. රාත‍්‍රි හතක් පුරාම නින්දක් නොලබා ගමන් කරන නැදුන්ගමුවේ රාජා මාලිගාවේ ඇත්ගාලට ආවට පස්සෙයි නින්දක් ලබා ගන්නේ.

මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්තයි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නාවූ නැදුන්ගමුවේ රාජා ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව එකොළොස්වන වරටත් වැඩමවීම පිණිස ගම්පහ ‍වැලිවේරියේ සිට මහනුවරට පැමිණියේ කිලෝමීටර 90 ක පමණ දුරක් පා ගමනින් ගෙවාදමමිනි.

මීට වසර 60කට පමණ ඉහත දී රාජා නැව් මගින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ සිටය. ඒ ත්‍යාගයක් ලෙසිනි.

නැඳුන්ගමුවේ රාජා දළදා මාලිගාවේ පෙරහැරට සම්බන්ධ වන්නේ 2005 වසරේ සිටය.

වසර 11 ක කාලපරිඡේදයක් නැදුන් රාජා සිය රාජකාරිය සන්සුන්ව තේජවන්තව අකුරටම ඉටුකළේය.

රාජා පෙරහරට යන අතරතුර එක් රැයක් හෝ යම් ස්ථානයක රැඳීසිටී නම් එය ඇත්තෙන් ම එම පුද්ගලයා ලබන භාග්‍යයක් සේ සලකති.

රාජාගේ හොඳම මිතුරා වන්නේ කළු මාමා. ඔහු රාජාව දැක්කේ තමන්ගේ පුතෙක් විදියට.

රටේ සියලු ජනතාවගේ හඳවත් කම්පා කරමින් ජාතික සම්පතක් වූ නැදුන්ගමුවේ රාජා මිය ගියා. මිය යන විට නැදුන්ගමුවේ රාජාට වයස අවුරුදු 69 ක්. සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචරකයින්ගේ ද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ අපට හිටිය ලස්සනම දළ ඇතා විදියටයි නැදුන්ගමුවේ රාජා සැලකෙන්නේ.

ඇත්තටම රාජා නැති අඩුව අපි හැමෝටම වගේම කළු මාමාට මුළු ජිවිත කාලය පුරා ම දැනේවි. මොකද කළු මාමගේ මුළු ජීවිතේම උනේ රාජා නිසා.

නිරතුරු දළඳා සමිදුන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබ යෙහෙන් වැජඹුණු නන්දුන්ගමුවේ හස්තිරාජයාණනි කළ පින් මහිමෙන් ඔබගේ සසර ගමන සුගතියටම පැමිණෙත්වා.


News Articles
Latest Videos
Most Popular Post