News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

වැලන්ටයින් දිනය අදයි

297 Views


වැලන්ටයින් දිනය අදයි

කියමනක් තියෙනවා ආදරය අන්ධයි කියලා. හැබැයි හැම ආදරයක්ම එහෙමයි කියලා අපිට කියන්න බැහැ. ආදරය කියන අකුරු හතරට නිශ්චිත වූ නිර්වචනයක් මේ ලෝකේ නැහැ.

ආදරේ නැති තැන ඇත්තටම ජීවිතයක් නැහැ. ජීවය නැති තැන ලෝකෙකුත් නැහැ. ඒ කියන්නෙම මේ ලෝකෙ පවතින්නේ ආදරයත් එක්ක. අද ආදරවන්තයින්ගේ දිනය.

ඇත්තටම වාණිජකරණය වූ මේ ලෝකයේ ආදරය කියන අකුරු හතරම දැන් සිල්ලර වෙලා. ඇත්තටම වැලන්ටයින් දිනය කියන්නේ මොකක්ද?

වැලන්ටයින් කතෝලික පියතුමෙක්. රෝමය තුළ කතෝලික දහම ඇදහීම තහනම් වූ යුගයේ ඔහු දයාව, ආදරය සෑම මිනිසෙකු වෙතම මුදාහැරියා.

වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ දෙසිය හැත්තෑවෙදි පමණ රෝමයේ ජීවත් වූවා. එකල රෝමය පාලනය කළ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කෘරතර පාලනයට නිර්භීතව මුහුණ දුන් වැලන්ටයින් පියතුමා.

තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් විවාහ කර දුන් බවයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ.

මේ බව ක්ලෝඩියස් අධිරාජ්‍යයා දැන ගන්නවා. ඉන්පසු වැලන්ටයින් පියතුමාව සිරගත කළා. සිරගත කර සිටියදී ප්‍රධාන ජේලර්වරයාගේ අන්ධ දියණිය සුවපත් කරන ලද්දේ වැලන්ටයින් ශාන්තුවරයායි. වැලන්ටයින් පියතුමාට රෝග සුව කිරීමේ බලයක් තිබුණු බවයි විශ්වාසය.

කෙසේ නමුත් කතෝලික දහම අතහැරීමට අකමැති වූ වැලන්ටයින් ශාන්තුවරයාව ක්‍රිස්තු වර්ෂ දෙසිය හැත්තෑවේ පෙබරවාරි දාහතර වනදා මරා දමනු ලැබුවා. එසේ ජීවිතය පූජා කිරීමට පෙර දින වැලන්ටයින් පූජකතුමා, ජේලර්වරයාගේ දියණියට ලිපියක් ලියූ බව සඳහන්. එහි අවසාන මා ඔබේ වැලන්ටයින් ලෙස සඳහන් කර තිබුණා.

පසු කලෙක මේ ප්‍රාණ පරිත්‍යාගශීලියාව ශාන්තුවරයෙකු බවට උසස් කරනු ලැබුවා. වැලන්ටයින් දින කතාව මෙයයි. කෙසේ නමුත් අද අප සමරන්නේ මේ ශාන්තවරයාගේ අරමුණ නොවන බව කිව යුතුයි.

මොකද වැලන්ටයින් ශාන්තුවරයාගේ ආදරය හුදෙක් තරුණ තරුණියන්ට පමණක් සීමා වූවක් නෙවෙයි. ඇත්තටම සදාකාලික සෙනෙහසට, ආදරයට, සීමා මායිම්, වයස් භේද නැහැ. එය හුදෙක් තරුණ තරුණියන් අතර ආදරයකට සීමා කර අද දවසේ අලෙවි කිරීම ඇත්තටම කණගාටුවට කරුණක්.

ආදරය උපදින්නේ අම්මගෙන්. ඒ වගේමයි ලෝකය පවතින්නේ හිරු එළියෙන්. එයයි සැබෑ යථාර්ථය.

ආදරවන්තයින්ගේ දවසේ ආදරණීය අම්මා ගැන කතා කරන්නේ නැත්නම් එය ශාන්තුවරයා වැලන්ටයින්ට සිදුකරන නිගරුවක්. අම්මා නැති ගෙදර බත්පත ඉදෙන්නේ නැහැ. ගෙදරට හිරු පායන්නෙත් නැහැ.

මොකද පුංචි පැල්පතෙත්, රජමාලිගෙත්, කල එළි කරන්නේ අම්මා.

නමුත් අද අද දවසෙදිත් මොනතරම් මව්වරුන් මහමග කඳුළු බොනවා ඇද්ද?

පියවරුන් හිස් අහස දිහා බලාගෙන හූල්ලනවා ඇද්ද?

ඒ වගේමයි අද වෙද්දි වැඩිහිටි නිවාසවල කොයිතරම් මව්වරු පියවරු හුදෙකලාව කල් ගෙවනවා ඇත්ද?

ආදරණීය තරුණ තරුණියනි, සදහටම හෙට ලෝකය අයිති ඔබටයි. හුදෙක්ම කොන්දේසි විරහිත ආදරයක් ඔබ පුද කළ යුත්තේ ඔබේ ආදරණීය මවට සහ පියාටයි. මවට සලකන්නේ නැති දුවෙක්ගෙන් හෝ පුතෙක්ගෙන්, දවසක හෝ ස්වාමිපුරුෂයකු හෝ බිරිඳක් ලෙස මව් සෙනෙහස පතන්න එපා කියලා ආදරවන්තයින්ගේ දිනය සමරන අද දිනයේදී සියත අප මතක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post