කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වැඩසටහනට අමතරව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට යැවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. මේ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කිරීමටද අවසර ලැබී තිබෙනවා.
කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවෙන් සෘතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ වී තිබෙනවා.
මෙම යෝජිත අවබෝධතා ගිවිසුම මගින්, ශ්‍රී ලාංකිකයින්ට උපරිම මාස 8ක කෙටි කාලයක් සඳහා බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව මෙමගින් සැලසෙන අතර මෙය ඔවුන්ට මෙන්ම රටටද විදේශ විනිමය උපයා දීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.