News Line| Off Air
Generic placeholder image

Jul
30

ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය සම්මානය හිමි කර ගනියි

603 Views


ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය සම්මානය හිමි කර ගනියි

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය” දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවත්, ලෝකයත් යා කරමින්, මගීන්ට ලබා දෙන සුවිශේෂී සත්කාරකත්වය සහ විශිෂ්ට සේවාව වෙනුවෙන් හිමි වූවකි.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කර තිබෙනවා. මෙම ජයග්‍රහණය දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කළ අවසථාවක් ලෙස පෙන්වා දිය හැකියි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.”

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, චෙන්නායි, බැංගලෝර් වැනි ප්‍රධාන නගර අතර මෙන්ම Tier-2 කාණ්ඩයේ උප ප්‍රධාන නගර අතර සතියකට ගුවන් ගමන් වාර 90 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවා. ඉන්දියාවේ තිරුචිරපල්ලි වෙතද ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට වාර 8 ක් පියාසර කරන අතර, එම නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයක්.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මදුරෙයි වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද, හයිද්‍රාබාද් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 4 ක්ද ක්‍රියාත්මකයි. තවද කේරළයේ කොචි නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා දිනපතා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන නගර මෙන්ම උප ප්‍රධාන නගර වෙත පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින්, ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නොයෙක් වර ඇගයීමට ලක් වී තිබෙනවා.

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රට වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් පහෙන් එකක්ම ඉන්දියානු ජාතිකයන් ලෙස සැලකෙනවා. මේ අතරින් විශේෂයෙන්ම චෙන්නායි, බැංගලූර්, දිල්ලි සහ මුම්බායි වැනි නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. මේ නිසා ඉන්දියාව ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාණිජ හා සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වෙළඳපොළක් බවට පත්ව තිබෙනවා.

දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා Wide-body සහ Narrow-body යන කාණ්ඩ දෙකටම අයත් ගුවන් යානා භාවිතා වනවා. මෙම ගුවන් යානාවල Business Class සහ Economy Class ආසන ඇතුළත්. මෙම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්මානනීය ශ්‍රී ලාංකික ආහාරපාන එකතුව ඇතුළුව විවිධ සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන රස විඳීමට අවස්ථාව උදා වනවා.

මීට අමතරව ඉන්දියාව ඉලක්ක කරගෙන සැලසුම් කළ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ක්‍රියාවට නංවා තිබෙනවා. රාමායණයේ සඳහන් ස්ථාන ආවරණය වන පරිදි සැලසුම් කර ක්‍රියාවට නැංවූ අතිසාර්ථක Ramayana Trail වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් උසුලනවා. තවද ඉන්දියාව වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ විශේෂ දීමනා රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් හඳුන්වා දී තිබෙනවා.

මීට අමතරව ව්‍යාපාරික රැස්වීම්, උත්සව හා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් පැමිණෙන MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරකයන් සහ, ශ්‍රී ලංකාවේදී තම විවාහ මංගලෝත්සව පැවැත්වීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන් විශේෂ විසඳුම් හා සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post